Friday, January 10, 2025

General line - 0115112241

පරිභෝජනයට නුසුදුසු ආහාර අලවි කළාට 22000ක් දඩ

පුත්තලම - ජුඩ් සමන්ත.




මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලවි කළ බවට චෝදනා ලැබූ නොරචෝල ලක්විජය තාප විදුලි බලාගාරයේ ආපන ශාලාව පවත්වා ගෙන ගිය අයට කල්පිටිය මහේස්ත්‍රාත් බුවනෙක රාජකරුණා මහතා විසින් රුපියල් 22,000 ක දඩ මුදලක් නියම කරන ලදි.

මෙසේ දඩ නියම වූයේ නොරචෝලේ පදිංචිකරුවෙකු වන නාමල් ද සිල්වා නම් අයෙකුටයි.

පිසින ලද ආහාර සහ මස් වර්ග එකම ශීතකරණයේ ගබඩා කර තැබීම,විවිධ ලේබල් අඩුපාඩු සහිත ආහාර අලවිය සඳහා ප්‍රදර්ශණය කිරීම ඇතුළු චෝදනාවන් විත්තිකරුට එරෙහිව මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් විසින් ගොනු කර තිබුණා.

නොරචෝල ලක් විජය තාප විදුලි බලාගාරයේ ආපන ශාලාව තුළ මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර අලවි කරන සහ අලවිය සඳහා ගබඩා කර ගෙන තබා ගෙන සිටින බවට කල්පිටිය  සෞඛ්‍යය වෛද්‍යය නිලධාරීවරයාට නිරන්තර පැමිණිළි ලැබුණු බව සඳහන්.

ඒ අනුව මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් විසින් ආපන ශාලාව පවත්වා ගෙන ගිය අයට අවස්ථා කීපයකදී අවවාද කළ ද එම අවවාද නොතකා ආපන ශාලා හිමිකරු මිනිස් පරිභෝජනයට නුසුදුසු ආහාර වර්ග අලවි කරන බවට නැවතත් පැමිණිළි ලැබී ඇති බවයි කල්පිටිය  සෞඛ්‍යය වෛද්‍යය නිලධාරී කාර්යාලය කියා සිටියේ.

 

ඉන් අනතුරුවයි  හිමිකරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන් කටයුතු කර ඇත්තේ.

ලක්විජය තාප විදුලි බලාගාරය තුළ පවත්වා ගෙන යන ආපන ශාලාව එහි සේවය කරන මෙරට සහ චීන නිලධාරීන් සහ සේවකයින් සඳහා පවත්වා ගෙන යනු ලබනවා.

කල්පිටිය සෞඛ්‍යය වෛද්‍යය නිලධාරී උදාර ප්‍රනාන්දු, සහකාර සෞඛ්‍යය වෛද්‍යය නිලධාරී දම්ශ්‍රී ද සිල්වා, නොරචෝල මහජන සෞඛ්‍යය පරීක්ෂක සංඛ මදුශාන් වනිගසේකර,තලවිල මහජන සෞඛ්‍යය පරීක්ෂක සුමිත් ජයනන්ද වාස්, මාම්පූරිය මහජන සෞඛ්‍යය පරීක්ෂක ඒ.එච්.එම්.සී.පී.කේ.අබේරත්න යන මහත්වරුන් විසින් වැටලීම සිදුකර තිබෙනවා.