Sunday, May 19, 2024

General line - 0115112241

ආණ්ඩුවට දුන් කාලය ඉවරයි! උමා ඔයට එරෙහි ජන බලවේගය යළි පාරට!




ජනතාවට කඩිනමින් සහන සලසන්නැයි ආණ්ඩුවට ලබා දුන් කාලය ලබන 07වෙනිදායින් අවසන් වන බවත් මේ වනතෙක් ආණ්ඩුව ඊට සූදානමක් ඇති බව නොපෙනෙන බව බහු විනාශකාරී උමාඔය ව්‍යාපෘතියට එරෙහි ජනතා පෙරමුණේ කැඳවුම්කරු, ඌව පළාත් සභාවේ ජනතා විමුක්ති පෙරමුණේ මන්ත්‍රී සමන්ත විද්‍යාරත්න පවසනවා. ඔහු වැඩිදුරටත් පවසන්නේ ජනතාව දිනෙන් දින පීඩාවට පත් කරමින් සිදුකරමින් පවතින මෙම විනාශකාරී උමා ඔය ව්‍යාපෘතිය වහාම නවතා දමන ලෙසත් පීඩාවට පත් ජනතාවට වහාම වන්දි ගෙවන ලෙසත් ආණ්ඩුවට බලකරමින් ලබන 11වනදා බණ්ඩාරවෙලදී දැවැන්ත විරෝධතාවයක් පවත්වන බව ය.

උමාඔය ව්‍යාපෘතිය හේතුවෙන් මේ වනවිට නිවාස 7345, ළිං, උල්පත්, ඔය, කඳුරු, වැවි සිඳීයාම් 3321ක්, පුරන් වූ ගොවි බිම් අක්කර 4880, ව්‍යපාරික ස්ථාන 434ක්, පාසල් 22ක්, පන්සල් සහ පල්ලි 23 විනාශ වී ඇති බවත් සමන්ත විද්‍යාරත්න පවසනවා.

විනාශකාරී උමාඔය ව්‍යාපෘතියට හේතුවෙන් නිවාස, වතුපිටි ඇතුළු දේපල සහ වගාබිම් අහිමිවීමෙන් ජීවනෝපායන් පවා අහිමිව ඇති ජනතාවට වන්දි ගෙවන ලෙසත් උමා ඔය ව්‍යාපෘතිය නතර කරන ලෙසත් ආණ්ඩුවට කොපමණ යෝජනා ඉදිරිපත් කළත් අඩුම තරමේ පීඩාවට පත් ජනතාවට දිනකට එක පවුලකට අවම වශයෙන් අවශ්‍ය ජලය ලීටර් 500වත් ලබා දීමට අපොහොසත් වී ඇතැයි සමන්ත විද්‍යාරත්න පවසනවා.