ශ්‍රී ලංකා බන්ධනාගාර ඉතිහාසයේ පළමු වතාවට ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූලව ඉදිකෙරුණු පළමු බන්ධනාගාරය අඟුණුකොළපැලැස්සදී පසුගියදා විවෘත්ත කෙරුණා. අක්කර 65ක් පුරා ඉදිව ඇති මෙම බන්ධනාගාරය මෙරට ඇති සියළුම බන්ධනාගාරවලට වඩා දැඩි ආරක්ෂක විධිවිධාන සහිතව ඉදිකර ඇතිබවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය අප සමග පිළිසඳරට එක්වෙමින් පැවසුවේ.
"මෙය ආරක්ෂාව අතින් සුවිශේෂි බන්ධනාගාරයක් වනවා. සමස්ථ බන්ධනාගාර පරිශ්‍රයම සී.සී.ටී.වී කැමරා පද්ධතියක් ඔස්සේ නිරීක්ෂණය වනවා. ඒ සඳහා වෙනමම පාලක මැදිරියක් තිබෙනවා. ඒ වගේම තමයි මේ බන්ධනාගාරයේ තාප්ප, මාර්ග සැලසුම් කරල තියෙන්නෙත් බන්ධනාගාරයේ ආරක්ෂාව වැඩි වන ආකාරයටයි. පසුගිය කාලයේදි, වව්නියාව, තංගල්ල, වැලිකඩ වගේ බන්ධනාගාරවල සිරකරුවන් ඒකරාශී වී කැරලි කෝලහාල කළා. අන් ඒ ආකාරයට සිරකරුවන්ට එකට එකතුවීම වලක්වමින් තමයි මේ බන්ධනාගාරය සැලසුම් සහගතව ඉදිකරල තියෙන්නේ. අනෙක් විශේෂත්වය තමයි රැඳවියන් බැලීමට පැමිණෙන ආගන්තුකයින් ඇතුළත් කරනු ලබන්නේද එවැනි ආරක්ෂක විධිදිධාන යටතේයි."
මෙහි ඇති අනෙක් විශේෂත්වයනම් බන්ධනාගාරගතවන තැනැත්තන් පුනුරුත්ථාපනයට හිතකර වනසේ මෙම බන්ධනාගාරය ඉදිකර තිබීමය. රැඳවියන් පුනුරුත්ථාපනය කිරීමට අවශ්‍ය දේශන ශාලා කාමර, වෘත්තීය පුහුණු මධ්‍යස්ථාන සහ කර්මාන්ත අංශයක් ඇතුළුව අංග සම්පූර්ණ ශ්‍රවණාගාරයක්, ඉතා උසස් මට්මේ ක්‍රීඩාංගනයක්, ගෘහස්ථ ක්‍රීඩාංගනයක් මෙම බන්ධනාගාර සංකීර්ණය තුල දක්නට ලැබෙනවා. මෙම බොහෝ පොදු පහසුකම් භාවිතය සඳහා ප්‍රදේශයේ ජනතාවටද අවස්ථාව උදාවනවා.
" බන්ධනාගාරය නිසා ලැබී තිබෙන ඇතැම් පොදු පහසුකම් ලබාගන්න රැඳවින්ට පමණක් විතරක් නෙවෙයි ප්‍රදේශයේ ජනතාවටත් අවස්ථාව හිමිවනව. රැඳවියන් පුනුරුත්තාපනය සඳහාත් ප්‍රදේශයේ ජනතාවත් සම්බන්ධකරගන්නව. සුදුසුකම්ලත් වෘතිකයින්, පූජ්‍ය පක්ෂය, විශ්‍රාමික ගුරුවරු ඇතුලු රජයේ සේවකයින්, ව්‍යාපාරිකයින් සහ ප්‍රභූන් මේ සඳහා දායක කරගන්නව. මෙතනින් අපි කරන්නෙ දඬුවම් විඳින්න විතරක් නෙවෙයි. ඔවුන් සමාජයට හානිදායක නොවන ලෙස පුනුරුත්තාපනය කිරීමකුයි." මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවා.
විශේෂයෙන්ම පුනුරුත්තාපනය කළ යුතු පුද්ගලයින් සිටීනම් ඔවුන් තනි වශයෙන් ගෙන හෝ උපදේශන සේවා ලබාදීම ඇතුළුව විශේෂම අවදානයක් යොමු කිරීමට පවා මෙම බන්ධනාගාරය තුලදී අවස්ථාව හිමිවනවා.
බන්ධනාගාර නිලධාරීන්ගේ සුබසාධනයද ඉතා ඉහළ මට්ටමක පවතින බවයි තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ.
" බන්ධනාගාර නිලධාරීන් කියන්නෙ නිවාඩු හෝ විවේක ලබා සිටියදී වුවත් හදිසි අවස්ථාවකදි රාජකාරියට වාර්තා කළයුතු නිලධාරීන් පිරිසක්. ඔවුන්ගේ සුබසාධනයට සමාජ සම්බන්ධතා සඳහා අවශ්‍ය අවන්හල්, පිහිනුම් තටාක, ටෙනිස් ඇතුළුව ක්‍රීඩා පහසුකම්ද ඇතිව ජාත්‍යන්තර ප්රමිතීන් වලට අනුවයි මේ බන්ධනාගාර සංකීර්ණය සකසල තියෙන්නේ."
මෙම බන්ධනාගාරය නවීන බන්ධනාගාරයක් ලෙස ඉදිවුවද, ඉන් මෙරට බන්ධනාගාර ලයිස්තුවට තවත් බන්ධනාගාරයක් එකතුවන්නේ නැත. මේ ඉදිකර ඇත්තේ තංගල්ලේ පිහිටි බන්ධනාගාරය එම භූමියෙන් ඉවත්කිරීම සඳහා ඒ වෙනුවට ඉදිකරන ලද නව බන්ධනාගාරයයි.
තවත් සති තුනකින් පමණ තංගල්ල බන්ධනාගාරයේ සිටින රැඳවියන් මෙම බන්ධනාගාරයට රැගෙන එන බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, බන්ධනාගාර කොමසාරිස් තුෂාර උපුල්දෙනිය පැවසුවේ.ජාත්‍යන්තර සම්මුතීන්ට අනුව රැඳවියකුට හිමිවියුතු ඉඩකඩ සහිතව ඉදිකර ඇති මෙහි රැඳවිය හැකි සංඛ්‍යාව 1300ක් වනවා. තංගල්ල බන්ධනාගාරයේ රැඳවියන් මාරු කිරීමෙන් අනතුරුව ඉතිරිවන ඉඩ පහසුකම් වෙනුවෙන් වෙනත් බන්ධනාගාර වලින් රැඳවියන් රැගෙන එන බවද ඔහු පැවසුවා.