Saturday, January 11, 2025

General line - 0115112241

මහින්ද අමරවීර බැඳුම්කර සිද්ධිය නිසා අැමතිකමෙන් ඉල්ලා අස්වෙයි?




අමාත්‍ය ධුරයෙන් ඉවත් වී හෝ ප‍්‍රශ්නගත බැඳුම්කර සිද්ධිය පිළිබඳ සොයාබැලූ ජනාධිපති කොමිසමේ අවසන් වාර්තාව අධිකරණයට ගෙනයාමට සූදානම් බව අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. කොළඹදී අද (18) පැවැත්වූ මාධ්‍ය හමුවකට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියාසිටියා. 

පසුගිය ආණ්ඩුව සමයේ සිදුවූ දූෂණ හා වංචාවලට දඬුවම් ලබාදීමට පෙර වත්මන් ආණ්ඩුවේ දූෂණ හා වංචාවලට සම්බන්ධ පුද්ගලයන්ට දඬුවම් ලබාදිය යුතු බව ද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා. 

"බැඳුම්කර සිද්ධිය මුලින්ම හෙළිකරගත්තෙ මම. ඔය කියන ආර්ථික විශේෂඥයෝ නෙවෙයි. මමයි ඒක මුලින්ම කොමිසමට අරගෙන ගියේ. මේවට අධිකරණයෙන් දඬුවම් ලැබේවි. වෙන කවුරුවත් නැත්නම් මම හරි අධිකරණයට මේ නඩුව ගෙනියනව. ඒකට ඇමතිකම බාධාවක්නම් ඒකෙන් ඉවත්වෙලා හරි ඒ දේ කරනව."

තමන් ඝාතනය කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයකු සාකච්ඡා කර ඇති බවද අමාත්‍ය මහින්ද අමරවීර පවසනවා. ඉකුත්දා හම්බන්තොට පැවැති විරෝධතාව මත්තල ගුවන් තොටුපළ බදුදීමට එරෙහි විරෝධතාවක් නොව, තමන්ට එරෙහි දේශපාලන කුමන්ත‍්‍රණයක් බවයි අමාත්‍යවරයා කියාසිටියේ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ බෙලිඅත්ත ආසන සංවිධායක ධුරය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට භාරගන්නැයි ද මෙහිදී ඉල්ලීමක් කෙරුණා. අත්තනගල්ල ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ ආසන සංවිධායක ධුරය, හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියට ලබාදීම සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් කළ ප‍්‍රශ්නකිරීම්වලට පිළිතුරු ලබාදෙමින් මහින්ද අමරවීර අමාත්‍යවරයා මෙම අදහස් පළකළා.