පාසලේදී වමනය කළ නිසා ගැබ්ගෙන ඇතැයි සැක කර දැරියක් පාසලෙන් ඉවත් කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදුකරන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් එම අමාත්‍යාංශයේ ලේකම් සුනිල් හෙට්ටිආරච්චිට උපදෙස් දී තිබෙනවා.
ඒ අනුව කිසියම් වරදක් සිදුව ඇත්නම් ප්‍රශ්නගත පාසලේ විදුහල්පතිවරියගේ වැඩතහනම් කිරීමටද කටයුතු කෙරෙනු ඇති බවයි අධ්‍යාපන අමාත්‍යාංශය කියා සිටියේ.
මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිය විමර්ශන වාර්තාව කැකිරාව කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයාට අද (20) භාරදුන් බව කැකිරාව කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ කේ එන් කුමාරි පවසනවා.
කැකිරාව කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා විසින් එම වාර්තාව උතුරුමැද පළාත් අධ්‍යාපන ලේකම්වරියට භාරදෙනු ඇති බවයි ඇය වැඩිදුරටත් පැවසුවේ.
විමර්ශන වාර්තාව සකස් කිරීම සඳහා තමන් අදාළ පාසලට ගොස් සිද්ධියට සම්බන්ධ පාර්ශවවලින් ප්‍රකාශ සටහන් කරගත් බවද කැකිරාව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරිය කියා සිටියා.
අගතියට පත් දැරියගෙන් සහ දැරියගේ මව්පියන්ගෙන්ද එලෙස ප්‍රකාශ ලබාගත් බවයි ඇය පැවසුවේ.
අගතියට පත් වූ දැරිය පාසලේදී වමනය කර ඇත්තේ උදෑසන ආහාර නොගෙන පාසලට පැමිණි නිසා බව විශ්වාස කෙරෙනවා.
එම දැරිය ගැබ් ගෙන හෝ කිසිඳු අපයෝජනයකට ලක්ව නැතැයි වෛද්‍ය වාර්තාවලින්ද තහවුරු කෙරුණා.
-----------------
බඩගින්න නිසා වමනය කළ පාසල් දැරිය ගැබිණියක් කළ විදුහල්පතිනියට වෙන්න යනදේ (20-10-2017 12:13)
ගැබිණියක යැයි සිතා කැකිරාව අධ්‍යාපන කලාපයේ පාසලක සිසුවියක් පාසලෙන් ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට පරික්ෂණයක් ආරම්භ කර තිබෙනවා. කැකිරාව කොට්ඨාස අධ්‍යාපන අධ්යක්ෂ කේ එන් කුමාරි කියා සිටියේ එම විමර්ශන කටයුතු සඳහා තමන් ඇතුළු කණ්ඩායමක් මේ වනවිටත් අදාළ පාසලට පැමිණ සිටින බවයි.
කලාප අධ්‍යාපන අධ්යක්ෂවරයා කළ දැනුම් දීමක් පරිදී විශේෂ කමිටුවක් මගින් එම විමර්ශනය සිදු කරන බවද කැකිරාව කොට්ඨාස අධ්‍යාපන අධ්‍යක්ෂවරිය කියා සිටියා.
නිරාහාරව පාසල් පැමිණි සිසුවිය පාසලේ වමනය කිරීම නිසා ඇය ගැබ් ගැනිමකට ලක් ඇතැයි සැකකරමින් විදුහල්පතිනිය විසින් අදාළ ශිෂ්‍යාව පාසලෙන් ඉවත් කර තිබෙනවා. කෙසේ වෙතත් දඹුල්ල රෝහලේ වෛද්‍යවරුන් සිදු කළ පරීක්ෂණයකදි අනාවරණ වී ඇත්තේ එම සිසුවිය ගැබ් ගැනීමකට හෝ කිසිදු අපයෝජනයකට ලක්ව නොමැති බවයි.