Saturday, May 18, 2024

General line - 0115112241

ලාහෝර් සංචාරයෙන් තවත් ප‍්‍රබලයෙකු හැලෙයි




ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ පුහුණුකරු ලෙස කටයුතු කරන නික් පෝතස් පාකිස්තානයේ ලාහෝර් නුවර පැවැත්වෙන අවසන් පන්දුවාර විස්ස තරගයට එක්නොවීමට තීරණය කර තිබෙනවා.

සිය පවුලේ ඉල්ලීමක් අනුව නික් පෝතස් එම තරගාවලිය එක් නොවන බවයි කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියෙකු නෙත් ස්පෝර්ට්ස්මන් වෙත කියා සිටියේ.

කෙසේ වෙතත් අබුඩාබි හිදි පැවැත්වෙන පළමු පන්දුවාර විස්ස තරග දෙක සඳහා නික් පෝතස් ශී‍්‍ර ලංකා පිලට සිය සහාය ලබා දෙනු ඇති.

පාකිස්තානයේ ආරක්ෂක තත්ත්වය සැලකිල්ලට ගනිමින් එහි සංචාරය නොකරන ලෙසයි නික් පෝතස්ගේ පවුලේ සාමාජිකයන් ඔහුගෙන් ඉල්ලීමක් කර ඇත්තේ.

ශී‍්‍ර ලංකා පුහුණුකරු බල ඇනියේ නික් ලී සහ භෞතික චිකිත්සක නිර්මලනාදන් තනබාලසිංහම් ද ලාහෝර් තරගයට එක් නොවන බවටද වාර්තා වනවා.

කෙසේ වෙතත් ලාහෝර් නුවර ගඩාෆි කී‍්‍රඩාංගණයේ පැවැත්වෙන 3 වන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය සඳහා පිතිකරුණ පුහුණුකරු හෂාන් තිලකරත්න සහ අසංක ගුරුසිංහ එක්වන බවයි කි‍්‍රකට් ආයතනයේ උසස් නිලධාරියා නෙත් ස්පෝර්ට්ස්මන් වෙත වැඩිදුරටත් කියා සිටියේ.

පාකිස්තාන කණ්ඩායම සමග පැවැත්වෙන පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගයේ නායකයා ලෙස කටයුතු කරන්නේ තිසර පෙරේරායි.

දෙරට අතර පළමු පන්දුවාර විස්ස තරගය ලබන 26 වැනිදාත් දෙවන පන්දුවාර විස්ස තරගය ලබන 27 වැනිදාත් අබුඩාබි හිදි පැවැත්වෙනවා.

අවසන් පන්දුවාර විස්ස කි‍්‍රකට් තරගය පාකිස්තානයේ ලාහෝර් නුවර ගඩාෆි කී‍්‍රඩාංගනයේ පැවැත්වෙන්නේ ලබන 29 වැනිදායි.