Sunday, April 28, 2024

General line - 0115112241

පරාජයේ වගකීම කාගෙදැයි නායකයා කියයි

කසුන් කැලුම් - සාජා සිට




පිතිකරුවන් දිගින් දිගටම දක්වන දුර්වල ක‍්‍රීඩා විලාශය නිසා පාකිස්ථානය සමග පැවැති එක්දින තරගාවලියත් පරාජයට පත් වූ බව ශ‍්‍රී ලංකා නායක උපුල් තරංග පවසනවා.

තරගයෙන් අනතුරුව පැවති මාධ්‍ය හමුවේදී ඔහු කියා සිටියේ මෙම තරගාවලියේදී ලකුණු 75ට වැඩියෙන් රැස් කිරීමට සමත් වූයේ තමන් ඇතුළු ක‍්‍රීඩකයින් තුන්දෙනෙකු බවයි.

මෙම තරගාවලියේදී  උපුල් තරංග ලකුණු 199ක් සහ ලහිරු තිරිමාන්න ලකුණු 174ක් රැස් කළා. මීට අමතරව තිසර  පෙරේරා මෙම තරගාවලියේදී ලකුණු 91ක් රැස් කළා.

දිනේෂ් චන්දිමාල් මෙම තරග පහේදී රැස් කළේ ලකුණු 41ක් පමණයි. මිලින්ද සිරිවර්ධන මෙම තරගාවලියේදී රැස් කර ගත්තේ ලකුණු 24ක් පමණයි. 

ශ‍්‍රී ලංකාව ඊයේ (23) ලද පරාජය වාර්තා පොත් අතරට එක් වූයේ  මෙම වසරේ පරාජය වූ 3 වන එක්දින තරගාවලිය ලෙසයි. 5කින් සමන්විත එක්දින තරගාවලි 3ක් වසරකදී පරාජය වූ පළමු කණ්ඩායම ලෙසද ශ‍්‍රී ලංකා කණ්ඩායම මෙහිදී වාර්තා පොත් අතරට එක් වුණා.

ශ‍්‍රී ලංකා පිල දිගින් දිගටම ලබන පරාජයන් පිළිබඳවද උපුල් තරංග මෙහිදී අදහස් දැක් වූවා. එහිදී ඔහු පෙන්වා දුන්නේ පරාජයේ වගකීම තමා ඇතුළු කණ්ඩායමේ සියලුම ක්‍රීඩකයින් භාරගත යුතු බවයි. නායකත්වයෙන් ඉවත් වීමේ සූදානමක් නැති බවත් කණ්ඩායම වැටී සිටින අසීරු අවස්ථාවක කණ්ඩායම අතහැර යෑමේ වුමවනාවක් තමාට නැති බවත් මෙහිදී ඔහු සඳහන් කළා. 

ශ‍්‍රී ලංකා කණ්ඩායම මේ වන විට එක්දින තරග 12ක් අඛණ්ඩව පරාජයට පත්ව තිබෙනවා. පාකිස්තානු කණ්ඩායම ඊයේ වාර්තා කළේ සිය අඛණ්ඩ 9 වැනි එක්දින ක‍්‍රිකට් ජයග‍්‍රහණයයි.