ශ්‍රී ලංකාවේ නිරීක්ෂණ චාරිකාවක නිරත වීමෙන් අනතුරුව එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්රිෆ් ඊයේ කළ ප්‍රකාශය ශ්‍රී ලංකාවට කෙරුණු අනතුරු ඇඟවීමක් බව ඒකාබද්ධ විපක්ෂය පවසනවා.
ඒ අනුව, ඊට මුහුණ දිය යුත්තේ කෙසේදැයි පුළුල් ජාතික සංවාදයක් ආරම්භ කළ යුතු බවයි ඔවුන් පෙන්වා දෙන්නේ.
පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන සඳහන් කළේ මේ පිළිබඳව රටම එක මතයක සිට කටයුතු කළ යුතුව ඇති බවයි.
මතු වී තිබෙන අනතුරෙන් රණවිරුවන් ආරක්ෂා කර ගැනීමට නම් ඔවුන්ගේ නිර්දෝෂිභාවය ජාත්‍යන්තරය හමුවේ ඔප්පු කළ යුතු බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
නෙත් නිවුස් මේ සම්බන්ධයෙන් ආණ්ඩු පාර්ශ්වයෙන්ද විමසීමක් කළා. ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා සඳහන් කළේ යුදමය කටයුතුවලදී රජයේ අණ පිළිපදිමින් කටයුතු කළ සියලුම රණවිරුවන් ආරක්ෂා කරන බවට රජය ස්ථීර ස්ථාවරයක සිටින බවයි.
යුද සමයේදී කිසියම් වරදක් සිදුව ඇත්නම් ඒ පිළිබඳ සොයා බැලීම සහ දඬුවම් කිරීම දේශිය නීතිය යටතේ සිදු කළ හැකි බවද මෙහිදි ප්‍රකාශ කෙරුණා.
ශ්‍රී ලංකාවේ කළ සිය සංචාරය නිමා කරමින් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත පැබ්ලෝ ඩි ග්රිෆ් ඊයේ (23) ප්‍රකාශ කළේ මානව හිමිකම් හෝ යුද නීති කඩකළ කිසිවෙක් වීරයෙකු ලෙස සැළකිය නොහැකි බවයි.
යුද විරුවන් සම්බන්ධයෙන් අධිකරණමය ක්‍රියාමාර්ග නොගන්නා බවට දේශපාලනඥයන් ලබා දෙන පොරොන්දු පවා නීතිය හමුවේ වරදක් වන බවද ඔහු පැවසුවා. එලෙස ශ්‍රී ලාංකික දේශපාලනඥයන් මෙරටදී ලබා දෙන දේශපාලන පොරොන්දුවලින් ජාත්‍යන්තරය බැඳී නොසිටින බවයි ඔහු අවධාරණය කළේ.
යුද්ධයේ අවසාන කාලයේ සිදුවීම් සම්බන්ධයෙන් සැකය දුරු කළ හැක්කේ විශ්වසනීය විමර්ශනයකින් පමණක් බවද පැබ්ලෝ ඩි ග්රිෆ් මෙහිදි කියා සිටියා. ඒ සඳහා වූ ක්‍රියාවලිය තවමත් අපේක්ෂිත මට්ටමට ළගා වී නොමැති බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.