Sunday, January 12, 2025

General line - 0115112241

ශ්‍රී පාද මාර්ගයට කඩා වැටුණු කසළ සහ පස් කන්ද ඉවත් කෙරේ (PHOTOS)

රංජිත් රාජපක්ෂ - හැටන්




ශ‍්‍රී පාද හැටන් මාර්ගයේ මහගිරිදඹ වැලමිට වංගුව ප‍්‍රදේශයේ ශ‍්‍රී පාද පියගැට පෙළට ශ‍්‍රී පාද උඩුමලූවේ සහ බගවාලෙන ප‍්‍රදේශයේ සිට ඉකුත්දා කඩා වැටුණු කැළි කසළ සහ පස් කන්ද ඉවත් කර මාර්ගය යථාතත්ත්වයට පත් කළ බව ලක්‍ෂපාන යුදහමුදා කඳවුරේ අණදෙන නිළධාරි මේජර් ඒ.ඩි.ගුණවර්ධන පවසනවා.

ලක්‍ෂපාන යුදහමුදා කඳවුරේ සහ නුවරඑළිය තුන්වන ශ‍්‍රි ලංකා සිංහ රෙජිමේන්තුවේ හතලිහක පමණ භටපිරිසක් දින දෙකක් තිස්සේ ශ‍්‍රී පාද ඉදිකටුපාන ප‍්‍රදේශයේ මෙහෙයුම සිදු කරමින් මෙම මාර්ගය යථාතත්ත්වයට පත් කළ බවයි අණදෙන නිළධාරිවරයා වැඩිදුරටත් කියා සිටියේ.

කැළි කසළ සහ පස් කන්ද කඩා වැටීමෙන් පියගැටපෙළේ ආරක්‍ෂිත වැටට ද හානි සිදුව තිබෙනවා. ඒවා තවදුරටත් පිළිසකර කෙරෙමින් පවතිනවා. එමෙන්ම පියගැටපෙළ දෙපස ගොඩ ගැසී ඇති කසල සහ පස් ද තවමත් තිබෙන බවයි අණ දෙන නිලධාරිවරයා පැවසුවේ. 

ශ‍්‍රී පාදය ආශ‍්‍රිතව මෙලෙස කසළ කඳු ගොඩ ගැසීම සම්බන්ධයෙන් නෙත් එෆ් එම් බැලූම්ගල වැඩසටහනින් ද අද උදෑසන විමසා බැලුණා.

සැදහැවතුන් සැබෑ ලෙස සැදහැවත්ව කටයුතු කරන්නේ නම් පූජා භූමි ආශ‍්‍රිතව අකටයුතුකම් හෝ අපිරිසිදු වීම් සිදුනොවනු ඇති බවයි එහිදී අවධාරණය කෙරුණේ.

මේ අතර මෙවර ශ‍්‍රී පාද වන්දනා සමයේදී ශ‍්‍රී පාද ස්ථානයට ප්ලාස්ටික් සහ පොලිතින් රැගෙන ඒම වළක්වාලන නීති තවදුරටත් දැඩි කිරීමට අවධානය යොමුව ඇතැයි ශ‍්‍රී පාදස්ථානාධිපති පුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න හිමියන් කියා සිටියා.