Sunday, January 12, 2025

General line - 0115112241

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව අද රැස්වේ

සජිත් තිලකරත්න




ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාවේ විශේෂ රැස්වීමක් අද (25) පැවැත්වෙනවා. ඒ වෛද්‍ය විද්‍යාල සඳහා වන අවම ප‍්‍රමිතිය සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමටයි. 

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව, වෛද්‍ය විද්‍යාල සඳහා වන අවම ප‍්‍රමිතීන් ඇතුළත් වාර්තාවක් මීට පෙර ද සකස් කළ අතර ඉකුත් ජුනි මාසයේදී සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත එය භාරදී තිබුණා.

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් එය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කෙරුණු අතර නීතිකෙටුම්පත් දෙපාර්තමේන්තුව ප‍්‍රකාශ කළේ එම වාර්තාවෙහි ඇතුළත් සමහර කරුණු සම්බන්ධයෙන් නීතිපතිවරයාගෙන් විමසිය යුතු බවයි.

ඒ අනුව එය නීතිපතිවරයා වෙත යොමුකෙරුණා.

නීතිපතිවරයා එහිදී ප‍්‍රකාශ කර ඇත්තේ එම වාර්තාවෙහිි ඇතැම් කරුණු විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාවෙන් ද විමසිය යුතු බවයි.

ඉන්පසුව එය විශ්ව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිෂන් සභාව වෙත ද යොමුකෙරුණු අතර ඔවුන් ප‍්‍රකාශ කළේ එම වාර්තාවේ ඇතුළත් අවම ප‍්‍රමිතියට අදාළ ඇතැම් කරුණු සම්බන්ධයෙන් එකග විය නොහැකි බවයි.

ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව අද පැවැත්වෙන විශේෂ රැස්වීම කැඳවා ඇත්තේ ද ඒ බව සැළකිල්ලට ගනිමින්. ඒ අනුව ශ‍්‍රී ලංකා වෛද්‍ය සභාව විසින්  මීට පෙර සකස් කරන ලද වාර්තාවේ ඇතැම් කරුණු අද පැවැත්වෙන රැස්වීමේදී සංශෝධනය කරනු ඇතැයි ද  විශ්වාස කෙරෙනවා.