දිවුලපිටිය හේන්පිටිගෙදර ප්‍රදේශයේ දී පොලිස් විශේෂ කාර්ය බළකාය සහ පාතාල කල්ලියක් අතර ඉකුත් 23 වැනිදා ඇතිවූ වෙඩි හුවමාරුවෙන් පසු අත්අඩංගුවට ගැනුණු බස්නාහිර පළාත් සභා එජාප මන්ත්‍රීවරයා සහ තමන් අතර සමීප සම්බන්ධයක් ඇතැයි පළවන වාර්තා අමාත්‍ය ජෝන් අමරතුංග ප්‍රතික්ෂේප කරනවා.
ඔහු ඒ බව පැවසුවේ නෙත් නිවුස් කළ විමසීමකදීයි.
එහිදී ඇමතිවරයා, "වත්තල.. හැඳල... අපේ ආසනයේ ඉන්න ඔක්කොම මගේ හිතවතුන් තමයි.. ඒ මිනිස්සු මට ඡන්දය දෙනාවා.. මගේ මැතිවරණ ව්‍යාපාරවලට සහයෝගය දෙනවා..මට ඡන්දේ දීපු මිනිස්සු ලක්ෂ ගාණක් ඔය පැතිවල ඉන්නවා.. ඒක තමයි තියෙන එකම සම්බන්ධතාවය.. ඊට එහා සම්බන්ධතාවයක් නැහැ..එක පුද්ගලයෙක් කළ වැරැද්දට අනෙක් අය පළි නෑනේ." යනුවෙන්ද සඳහන් කළා.
මේ අතර සැකකාර මන්ත්‍රීවරයාගේ භාර්යාව ද අත්අඩංගුවට ගැනුණා. ඒ ඔවුන්ගේ නිවසේ තිබී පතොරම් තොගයක් සොයා ගැනීමෙන් පසුවයි.
සැකකාර මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනුණු සැණින් ඔහුගේ නිවසේ සිට මෝටර් රථයක් සැකසහිත ලෙස පිටව ගොස් ඇතැයි ද පොලීසියට තොරතුරු ලැබී තිබුණා.
එම මෝටර් රථයෙන් රැගෙන ගිය බව කියන අවි ආයුධ තොගයක් පසුව කළ සෝදිසියකදී සොයාගෙන ඇති බවයි නෙත් නිවුස් ඊයේ (24) වාර්තා කළේ.
අදාළ වෙඩි හුවමාරුව සම්බන්ධයෙන් මන්ත්‍රීවරයාට අමතරව තවත් සැකකරුවන් 7 දෙනකු ද අත්අඩංගුවට ගැනුණා. මෙම සියලූ සැකකරුවන් ලබන මස 11 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමටයි මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය ඊයේ නියෝග කළේ.
සැකකාර මන්ත්‍රී රන්දීර් රොද්‍රිගුගේ භාර්යාව ලබන 31 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වත්තල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කළා.