Sunday, January 12, 2025

General line - 0115112241

සියලු දෙනා නැවත ලියාපදිංචි කෙරෙන විද්‍යුත් හැඳුනුම්පත ප්‍රමාද වෙන හේතු කියයි

සජිත් තිලකරත්න




දැනට භාවිත කරන ජාතික හැඳුනුම්පත වෙනුවට හඳන්වාදීමට යෝජිත විද්‍යුත් හැඳුනුම්පත භාවිතයට නිකුත් කිරීමට තවත් කල් ගතවනු ඇතැයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව පවසනවා.

ඒ දක්වා වූ කාලය සඳහා දැනට භාවිත කරන ජාතික හැඳුනුම්පත වෙනුවට ස්මාර්ට් කාඞ්පතක් ළඟඳීම හඳුන්වාදෙන බවයි එහි කොමසාරිස් ජනරාල් වියානි ගුණතිලක පැවසුවේ. 

එහිදී "විද්‍යුත් හැඳුනුම්පත කියලා දැන් අපි සෑහෙන්න කාලයක ඉඳන් කතා කරනවා.. මේකේ පළමු පියවර තමයි ජාතික පුද්ගල නාමලේඛනයක් හදා ගැනීම. දැන් ඇත්තටම මේකට ජනතාවගේ ඇඟිලි සටහන් ලබා ගන්නත් බලය ලැබිලා තියෙනවා. ඒ අවශ්‍යකරන තොරතුරු ජනතාවගෙන් ලබා ගන්න ඕන කරන ලිපි ලේඛනත් මේ වෙන කොට ප්‍රාදේශීය ලේකම් කාර්යාලවලට යවලා තියෙනවා. මේකෙදි ලංකාවේ සියලුම දෙනාව නැවත ලියාපදිංචියකට ලක් කෙරෙනවා.. ඒකට යම් කාලයක් ගතවෙනවා..ඒ නිසා තමයි මේ ප්‍රමාදය ඇති වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි දැනට ස්මාර්ට් කාඩ්පත නිකුත් කරන්න තීරණය කළේ." යනුවෙන්ද පැවසුවා.

ස්මාර්ට් කාඞ්පත සහ දැනට භාවිත කෙරෙන ජාතික හැඳුනුම්පත අතර ඇති වෙනස්කම් පිළිබඳව ද මෙහිදී විස්තර කෙරුණා. 

"මෙහි තියෙන දත්ත යන්ත්‍රාණුසාරයෙනුත් කියවන්න පුළුවන් ආකාරයට තමයි  නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මෙහි ඡායාරූපය අන්තර් ජාතික ප්‍රමිතියට අනුව සකස් කරන ලද ඡායාරූපයක්.. මේක ප්‍රින්ට් කරන ක්‍රියාවලියත් ඉහළ තාක්ෂණය භාවිතා කරලා සිදු කෙරෙනවා."

දැනට භාවිත කෙරෙන ජාතික හැඳුනුම්පත ගුණාත්මකභාවයෙන් අඩු බව හඳුනාගෙන තිබෙනවා.

එම හැඳුනුම්පත යොදාගනිමින් අක‍්‍රමිකතා සිදුකිරීමට ද වැඩි ඉඩකඩක් තිබෙන බවයි අධ්‍යයනවලින් හෙළිවී ඇත්තේ. ජාතික හැඳනුම්පත් සඳහා විකල්ප සැකැස්මක් හඳුන්වාදීමට යෝජනා වූයේ ද ඒ අනුවයි.