Wednesday, May 22, 2024

General line - 0115112241

ජය පරාජයෙන් තොරව අවසන් වූ ශ්‍රී ලංකා - බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය (UPDATE)




සිය රටේ ක‍්‍රිකට් ඉතිහාසයට නව වාර්තාවක් එක් කරමින් ශ‍්‍රී ලංකාව සමග පැවති පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ජය පරාජයෙන් තොරව අවසන් කර ගැනීමට බංග්ලාදේශය අද (04) සමත් වුණා.

එහිදී බිහිවූ නව වාර්තාව වූයේ බංග්ලාදේශ පිතිකරු මොමිනුල් හක් ඉණිම් දෙකේදීම ශතක රැස් කර ගනිමින් එවැනි දස්කමක් දැක්වූ පළමු බංග්ලාදේශ ක‍්‍රිඩකයා ලෙස ඉතිහාසයට එක් වීමයි. ඔහු බංග්ලාදේශ පළමු ඉනිමේදී ලකුණු 176ක් රැස් කළ අතර අද (04) දිනයේද ලකුණු 105ක් රැස් කළා.

තරගයේ ප‍්‍රථමයෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශය ලකුණු 513යි. ශ‍්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 9ක් දැවී ලකුණු 713ක් රැස් කරගෙන සිටියදී සිය ඉණිම අත්හිටවූවා.

තරගය අවසන් දිනය වූ අද දිනය නිමා වීමට පන්දුවාර 17ක් ඉතිරිව තිබියදී තරගය අවසන් කිරීමට කණ්ඩායම දෙකේම නායකයින් එකතාව පල කළා.

ඒ වනවිට සිය 2වන ඉණිම ක‍්‍රීඩා කරමින් සිටි බංග්ලාදේශය කඩුලූ 5ක් දැවී ලකුණු 307ක් රැස් කරගිනිමින් ශ‍්‍රි ලංකාවට වඩා ලකුණු 107ක් ඉදිරියෙන් සිටියා.

ශ‍්‍රී ලංකා පළමු ඉනිමේදි හතක 3ක් වාර්තා වූ අතර කුසල් මෙන්ඩිස් ලකුණු 196ක්, ධනංජය ද සිල්වා ලකුණු 173ක් හා රොෂේන් සිල්වා ලකුණු 109ක් රැස් කළා. තරගය තුළ කණුඩායම් දෙකම ලකුණු 1533ක් රැස් කළ අතර දින 5ක් තුළ බිවැටුණු ලකුණු සංඛ්‍යාව 24ක්. තරගයේ වීරයා සම්මානය මොමිනුල් හක්ට හිමි වුණා.                    

-------------------

බංග්ලාදේශය ශ්‍රී ලංකා පළමු ඉනිමේ ලකුණු සංඛ්‍යාව පසු කරමින් ඉදිරියට  (04-02-2018 12:00)

සංචාරක ශි‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අද (04) අවසන් දිනයයි.

දෙවෙනි ඉනිම කී‍්‍රඩා කරන බංග්ලාදේශ කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුළු 03ක් දැවී ලකුණු 201 ක් ලබා සිටියා.

ඔවුන් පළමු ඉනිමට ලකුණු 513ක් රැස්කළ අතර ශි‍්‍ර ලංකාව ඊට පිළිතුරු වශයෙන් පළමු ඉනිමට ලකුණු 713ක් රැස්කළා.

බංග්ලාදේශ දෙවෙනි ඉනිම වෙනුවෙන් මොමිනුල් හක් ලකුණු 74ක් සහ ලිටන් දාස් නොදැවී ලකුණු 54ක් ලබා ගනිමින් නොදැවි කඩුල්ලේ රැඳී සිටිනවා.

ඒ අනුව බංග්ලාදේශය මේ වන විට ශ්‍රී ලංකා පළමු ඉනිමට වඩා ලකුණු 01 ක් ඉදිරියෙන් සිටින අතර අතැතිව ඇති කඩුළු සංඛ්‍යාව 07  ක්. තරගය පැවැත්වෙන්නේ චිතගොන් හිදීයි.

 

-----------------------------------

තරගයේ අවසන් දිනය හෙටයි

(03-02-2018 20:36)

ශ්‍රී ලංකා බංග්ලාදේශ ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ 4වන දිනය අදයි. අද (03) තරගය නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායම සිය 2වන ඉණිම සඳහා කඩුලූ 3ක් දැවී ලකුණු 81ක් ලබා සිටියා.

පළමු ඉණිම සඳහා ඔවුන් රැස් කරගත් ලකුණු සංඛ්‍යාව 513ක්. ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලූ 9ක් දැවී ලකුණු 713ක් ලබා ගත්තා. ඒ අනුව, බංග්ලාදේශ කණ්ඩායම සිටින්නේ ශ්‍රී ලංකාවට වඩා තවත් ලකුණු 119ක් පිටුපසින්.

හෙට (04) තරගයේ අවසන් දිනයයි. 

 

---------------------------------

රොෂේන් සිල්වා මංගල ශතකය ලබා ගනී (UPDATE)

 

බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු ඉනිම කී‍්‍රඩා කරන ශී‍්‍ර ලංකා කණ්ඩායම මීට නොබෝ වේලාවකට පෙර කඩුළු 3 ක් දැවී ලකුණු 544 ක් ලබා සිටියා. රොෂේන් සිල්වා අද සිය මංගල ටෙස්ට් ශතකය වාර්තා කිරීම විශේෂත්වයක්.

පන්දු 197 කදි වාර්තා කළ ඔහුගේ ශතකයට හතරේ පහර 6 ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා. නායක දිනේෂ් චන්දිමාල් අනෙක් අන්තයේ නොදැවී පන්දුවට පහර දෙනවා. ඔහු ලබාසිටි ලකුණු සංඛ්‍යාව 58 ක්.   

-----------------------------------

ශී‍්‍ර ලංකා සහ බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි

03-02-2018 07:38

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ සිව්වන දිනය අදයි. ඊයේ තරගය නතර කරන විට ශී‍්‍ර ලංකා කණ්ඩායම සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුළු 3 ක් දැවී ලකුණු 504 ක් ලබාසිටියා.

නොදැවී කඩුල්ලේ රැදී සිටි රොෂේන් සිල්වා ලකුණු 87 ක් ලබාසිටි අතර දිනේෂ් චන්දිමාල් ලකුණු 37 ක් ලබාසිටියා.

ශී‍්‍ර ලංකා ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කුසල් මෙන්ඩිස් ලකුණු 196 යි. 

--------------------------------------

කුසල් ද්විත්ව ශතකය පෙනි පෙනී දැවී යයි

02-02-2018 13:38

සත්කාරක බංග්ලාදේශ කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ ශ‍්‍රී ලංකා පළමු ඉණිම ප‍්‍රබල තත්වයකට රැගෙන ඒමට කුසල් මෙන්ඩිස් සහ ධනංජය සිල්වා සමත් වුණා. චිතගොංහි පැවැත්වෙන මෙම තරගයේ අද තුන්වන දිනයයි.

අද සිය 23 වන උපන් දිනය සමරන කුසල් මෙන්ඩිස් අද තරගයේ දී සිව්වන ටෙස්ට් ශතකය වාර්තා කිරීමද විශේෂත්වයක්. ධනංජය සිල්වා ලකුණු 173කට දැවී ගියා. ඔහු මෙහිදී ටෙස්ට් ලකුණු දහසේ සීමාව පසු කිරීම ද විශේෂත්වයක්.

අඩුම ඉණිම් සංඛ්‍යාවකින් ටෙස්ට් ලකුණු දහස සම්පූර්ණ කළ ශ‍්‍රී ලාංකික ක‍්‍රීඩකයන් අතර සම තුන්වන තැන හිමිකර ගැනීමටද ධනංජය සිල්වා අද සමත් වුණා. ඔහු ලකුණු දහසේ සීමාව පසුකර ගියේ ටෙස්ට් ඉණිම් 23කදීයි. මීට පෙර රෝයි ඩයස් සහ මයිකල් වැන්ඩොට් ශ‍්‍රී ලංකාව වෙනුවෙන් එම දස්කම දක්වා තිබුණා. සුපිරි පිතිකරු කුමාර සංගක්කාර ඉණිම් 25ක දී සහ මහේල ජයවර්ධන මෙන්ම තිලාන් සමරවීර ද ඉණිම් 24ක දී සිය ටෙස්ට් ලකුණු දහසේ සීමාව පසුකර තිබුණා. 

කුසල් මෙන්ඩිස් සහ ධනංජය ද සිල්වා දෙවන කඩුල්ලට එක් කළ ලකුණු සබඳතාව 308ක්. 2009 වසරෙන් පසු ශ‍්‍රී ලාංකික පිතිකරුවන් දෙදෙනෙකු ත‍්‍රිත්ව ශතක ලකුණු සබඳතාවක් ගොඩනැගු පළමු අවස්ථාව ද මෙය වනවා. 

සුපිරි ඉනිමක් ක්‍රීඩා කළ කුසල් මෙන්ඩිස් ලකුණු 169කට දැවී ගියා

---------------------------------

කුසල්ගේ සිව්වැනි ශතකයත් බංගලියන්ට එරෙහිව 

02-02-2018 09:56

සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ හතරවන ශතකය රැස් කිරීමට කුසල් මෙන්ඩිස් අද සමත් වුණා. බංග්ලාදේශය සමග පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ තුන්වන දිනය අදයි. 

--------------------------------------------------

ධනංජය ද සිල්වා සිවිවැනි ශතකය ලබයි 

01-02-2018 18:39

සිය ටෙස්ට් ක‍්‍රිකට් දිවියේ හතරවන ශතකය රැස් කිරීමට ධනංජය ද සිල්වා අද සමත් වුණා. ඒ, බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගයේදීයි. මෙම තරගයේ දෙවන දිනය වන අද තරගය නගර කරන විට සිය පළමු ඉණිම සඳහා පන්දුවට පහරදෙන ශ‍්‍රී ලංකා කණ්ඩායම එක් කඩුල්ලක් පමණක් දැවී ලකුණු 187ක් ලබාගෙන සිටියා.

බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉණිම සඳහා රැස්කර ගත් ලකුණු සංඛ්‍යාව 513ක්. ඒ අනුව ශ‍්‍රී ලංකා කණ්ඩායම ඔවුන්ට වඩා තවත් ලකුණු 326ක් පිටුපසින් සිටිනා. ධනංජය සිල්වා නොදැවී ලකුණු 104යි. කුසල් මෙන්ඩිස් ලකුණු 83ක් ලබාගෙන නොදැවී පන්දුවට පහරදෙමින් සිටිනවා. 

--------------------------------------

බංග්ලාදේශය පළමු ඉනිමට 513යි 

01-02-2018 12:50

සංචාරක ශී‍්‍ර ලංකා කණ්ඩායම සමග පැවැත්වෙන පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ පළමු ඉනිම කී‍්‍රඩා කළ බංග්ලාදේශ කණ්ඩායම  කඩුළු 10ට ලකුණු 513ක් රැස් කළා. 

---------------------------------------------

ශ්‍රී ලංකාවට හිසරදයක් වූ 'මොමිනුල්' මෙල්ල කරයි - තරගය කෙමෙන් කෙමෙන් ශ්‍රී ලංකාව අතට

01-02-2018 09:50

සංචාරක ශි‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පළමු ටෙස්ට් කි‍්‍රකට් තරගයේ අද (01) දෙවන දිනයයි.

මේ වන විට දෙවන දිනයේ ක්‍රීඩා කරමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 06ක් දැවී ලකුණු 415ක් ලබා සිටිනවා. 

ඊයේ දවස පුරා ශ්‍රී ලංකා පන්දු යවන්නන්ට හිසරදයක් වූ මොමිනුල් හක් ලකුණු 175 ක් ලබා සිටියේ හතරේ පහර 16 ක් සහ හයේ පහරක් ද සමගයි.

කෙසේ වෙතත් අද දිනය ඇරඹුමේම ක්‍රියාත්මක වූ ශ්‍රී ලංකා සුපිරි දඟ පන්දු යනව ක්‍රීඩක රංගන හේරත් ලකුණු 176 ක් ලබාසිටි මොමිනුල් හක්ව ක්‍රීඩාගාරයට හරවා යැවුවා.

ඒ අනුව පිටියට පිවිසි මොමිනුල් හක්ගේ ද්විත්ව ශතක සිහිනය උදෑසනම බිඳ වැටී ගියා.

ඊයේ (31) තරගය නතර කරන විට සිය පළමු ඉනිමා කී‍්‍රඩා කළ බංග්ලාදේශ කණ්ඩායම කඩුළු 04ක් දැවී ලකුණු 374ක් ලබා සිටියා.

ඊයේ දිනයේ නොදැවී කඩුල්ලේ රැඳී සිටි මොමිනුල් හක් ලකුණු 175ක් ලබා සිටි අතර අනෙක් අන්තයේ පන්දුවට පහර දුන් නායක මහමුදුල්ලා ලකුණු 09ක් රැස්කර ගෙන සිටියා.

තරගය පැවැත්වෙන්නේ චිතගොන් හිදීයි. 

 

----------------------------------------

බංග්ලාදේශයෙන් දැවැන්ත ඉනිමක් (UPDATE)

(31-01-2018 18:16)

(තරංග රුක්ෂාන් ජයසේකර)

 

සංචාරක ශි‍්‍ර ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමා වන විට පළමු ඉනිම කී‍්‍රඩා කළ බංග්ලාදේශ කණ්ඩායම ප‍්‍රබල ස්ථානයක පසුවුණා.

දිනය නිමා වනවිට බංග්ලාදේශ ලකුණු පුවරුව දැක්වුණේ කඩුළු 04කට ලකුණු 374ක් ලෙසයි. බංග්ලාදේශ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ මොමිනුල් හක් නොදැවී රැස්කර ගෙන සිිටි ලකුණු සංඛ්‍යාව 175ක්. ඔහුගේ ඉනිමට හතරේ පහර 16ක් සහ එක් හයේ පහරක් ඇතුළත් වුණා.

මුෂ්ෆිකර් රහීම් ලකුණු 92කට දැවී ගියා. තමීම් ඉක්බාල් ලකුණු 52යි. පන්දු යැවීමේදී සුරංග ලක්මාල් ලකුණු 43කට කඩුළු 02ක් බිඳ හෙළුවා. මෙය බංග්ලාදේශ කණ්ඩායම ටෙස්ට් තරගයක එක් දිනක් තුළ වාර්තා කළ දෙවන වැඩිම ලකුණු සංඛ්‍යාවද වනවා.

මීට පෙර නවසීලන්ත කණ්ඩායමට එරෙහිව බංග්ලාදේශ කණ්ඩායම ටෙස්ට් තරගයක එක් දිනක් තුලදී ලකුණු 388ක් රැස් කර තිබුණා.

 

-------------------------------------

බංග්ලාදේශයේ කඩුලු දෙකක් බිඳ වැටේ

31-01-2018 12:16

ශ‍්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය දැන් පැවැත්වෙනවා.

බංග්ලාදේශ පළමු ඉණිමේදි අර්ධ ශතකයක් රැස් කිරීමට තමීම් ඉක්බාල් අද (31) සමත්වුණා.

පන්දු 53කදී වාර්තා වූ ඔහුගේ ඉනිමට එක් හයේ පහරක් සහ හතරේ පහර 6ක් ඇතුළත්.

ලකුණු 52ක් රැස් කරගෙන සිටියදී තමීම් ඉක්බාල් දැවී ගියේ දිල්රුවන් පෙරේරාගේ පන්දුවක් හමුවේයි.

ආරම්භක පිතිකරු ඉම්රුල් කයිස් ලකුණු 40කට දැවී ගියා. 

මීට නොබෝ වේලාවකට පෙර සිය පළමු ඉණිම වෙනුවෙන් පන්දුවට පහර දෙන බංග්ලාදේශ කණ්ඩායම කඩුලූ 02 ක් දැවි ලකුණු 171 ක් රැස් කරගෙන සිටියා.
 

-------------------------------------

කාසියේ වාසිය බංගලියන් අතට ගනී (UPDATE)

(31-01-2018 08:50)

 

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගයේ කාසියේ වාසිය දිනා ගැනීමට මීට සුළු මොහොතකට පෙර බංග්ලාදේශය සමත් වුණා.

ඒ අනුව ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමටයි. 

-----------------------------------

බංගලියන් වාඩුව ගන්න දඟලන තරගය අද - දෙපිළම බලඇණිය ශක්තිමත් කරන්නේ මෙහෙමලු 

(31-01-2018 07:13)

 

සංචාරක ශ‍්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන ටෙස්ට් ක‍්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (31) පැවැත්වෙනවා.

ඒ, බංග්ලාදේශයේ චිතගොන් ක‍්‍රීඩාංගණයේදීයි.

දඟ පන්දු යවන්නන්ට වාසිදායක ක‍්‍රීඩාංගණයක් වීම හේතුවෙන අද තරගයේදී දෙපිළම සිය දඟ පන්දු බලඇණිය ශකිත්මත් කරනු ඇතැයි ක‍්‍රීඩා වාර්තා අනාවැකි පළ කරනවා.

බොහෝ දුරට ශ‍්‍රී ලංකා කණ්ඩායමට ලක්ෂාන් සඳකැන් හෝ අකිල ධනංජය කැඳවනු ඇති බවයි පැවසෙන්නේ. ටෙස්ට් තරගාවලියට නම් කළ බංග්ලාදේශ සංචිතයේ 16 දෙනාගෙන් 06 දෙනෙකුම දඟ පන්දු යවන්නන්. 

ඉන්දීය ටෙස්ට් තරගාවලියට සහභාගී නොවූ කුසල් මෙන්ඩිස් සහ රංගන හේරත් අද තරගයේදී යළි ශ‍්‍රී ලංකා කණ්ඩායමට එක්වනු ඇති.

තරගය ශ‍්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9.00ට ආරම්භ වීමට නියමිතයි.

පසුගියදා බංග්ලාදේශයේ පැවැති තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට ශ්‍රී ලංකා පිළ සමත් වුණා. ඒ බංග්ලාදේශයට අමතක නොවන තරගාවලියක් බවට එය පත් කරමින්.