Friday, May 17, 2024

General line - 0115112241

අනාවරණය වූ එල්ටීටීඊ විශේෂ බුද්ධි අංශයේ තොරතුරු මෙන්න (PHOTOS)

වසන්ත පිවිතුරු




මුලතිව් වෙල්ලමුල්ලි වයිකාල් ප්‍රදේශයේ දී එල්ටීටීඊ සංවිධානය විසින් භාවිත කළ බවට සැක කෙරෙන ලේඛන කිහිපයක් හමුවී ඇති බව තොරතුරු අනාවරණය වී තිබෙනවා. එම සංවිධානයේ බුද්ධි අංශය විසින් භාවිත කරන ලද හැඳුනුම්පත් තොගයක් එම ප්‍රදේශයේ දී හමුව ඇති බව සඳහන්.

කෙසේ වෙතත් මීට සතියකයට පමණ ඉහත දී වෙල්ලමුල්ලි වයිකාල් ප්‍රදේශයේ දී දෙමළ අක්ෂරයක් මුද්‍රිත ලෝහ තහඩුවක් හමුවුණා.

එහි දෙමළ හෝඩියේ ආයුධ අක්ෂරය ලෙස හඳුන්වනු ලබන  "ஃ" (:) අක්ෂර රහස් සංඛේතයක් ලෙස මුද්‍රණය කර තිබුණා. නමුත් එම සංඛේතයෙන් හඳුන්වනු ලබන්නේ කුමක් සම්බන්ධයෙන් ද යන්න වටහා ගැනීමට එම අවස්ථාවේ දී බලධාරින් සමත් වුණේ නැහැ.

එවකට එල්ටීටීඊ සංවිධානය විසින් සිය විවිධ බලකායන් හඳුන්වනු ලැබුවේ දෙමළ හෝඩියේ ඇති ස්වර අක්ෂරවලින්.

ඒ අනුව එල්ටීටීඊ සංවිධානය සතුව විවිධ බලකායන් 12ක් ස්ථීරවම තිබු බවට මෙයට පෙර සඳහන් වුණා.

කෙසේ වෙතත් දෙමළ හෝඩියේ විශේෂ අක්ෂරයක් ලෙස සැළකෙන "" (:) අක්ෂරය යොදාගෙන ක්‍රියාත්මක වූ බලාකාය කුමක්දැයි සනාථ කර ගැනීමට නොහැකි වූ අතර ඒ පිළිබඳ සිදුකළ පරික්ෂණවල දී තවත් තොරතුරු රැසක් අනාවරණය කර ගැනීමට හැකි වී තිබෙනවා.

එල්ටීටීඊ සංවිධානයේ බුද්ධි අංශයේ ක්‍රියාකාරකම් හා ඔවුන්  පිළිබඳව එල්ටීටීඊ නායක වේලුපිල්ලෙයි ප්‍රභාකරන් වෙත නිරන්තරයෙන් වාර්තා කිරිමේ විශේෂ බුද්ධි බලකාය මෙම විශේෂ "" (:) දෙමළ අක්ෂරයෙන් හඳුන්වා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

2009 වසරේ යුද්ධ අවසන් අදියරයේ දී එල්ටීටීඊ බුද්ධි අංශයේ සාමාජිකයන් ශ්‍රී ලංකා යුද හමුදාවේ ක්‍රියා නිරික්ෂණය කර ඇති අතර එම අවස්ථාවේ දී එල්ටීටීඊ බුද්ධි අංශයේ සාමාජිකයන් පිළිබඳව සැක ඇති වූ එල්ටීටීඊ නායකයා විසින් මෙම විශේෂිත බුද්ධි අංශය ස්ථාපිත කර ඇති බවද සඳහන්.

මේ පිළිබඳව www.nethnews.lk  මුලතිව් පොලීසියෙන් විමසීමක් කළා. එහි ප්‍රකාශකයෙක් කියා සිටියේ අදාළ ප්‍රදේශයේ සිදුකළ පරික්ෂණවලදී එල්ටීටීඊ සංවිධානය විසින් වලදමා තිබු යම් යම් දේවල් හමුවු බවයි.

ඒ පිළිබඳ වැඩිදුර පරික්ෂණ ක්‍රියාත්මක බවද ඔහු කියා සිටියා.