කුමන ආකාරයේ ගින්නක් වූවත් නිවා දැමීමට හැකි නමුත් කුසට අවශ්‍ය ආහාර නොමැති නම් ඒ ගින්න ලෙසියෙන් නිවා දිමිය නොහැකි බව අප කවුරුත් හොඳින් දන්නා කරුණක්.
ඉතින් මෙම කුස ගින්න නිවා ගැනීමට නම් කුමක් හෝ ආහාරයක් අප අනුභවය කළ යුතු වනවා.
එසේ නොමැති නම් මිනිසාට සිදුවන්නේ හාමතේ මිය යාමටයි.
සිය දෙමාපියන් නිවසේ නොමැති අවස්ථාවක ඇති වූ කුස ගින්න නිවා ගැනීම සඳහා ගෙවත්තේ තිබු කෝවක්කා ගෙඩි කා වයස අවුරුදු 7ක කුඩා දරුවෙකු මිය යාමේ සිද්ධියක් ද අපට පසුගියදා කුළියාපිටිය ප්‍රදේශයෙන් වාර්තා වුණා.
මේ පුවත් අපට වාර්තා වන්නේ අනුරාධපුර ප්‍රදේශයෙන්. තමාට ඇති වූ අධික කුස ගින්න දරාගත නොහැකි කුඩා දරුවෙකු කුණු ගොඩක ඇති ඉඳුන් ආහාර අනුභවය කරන ඡායාරූපයක් සමාජ ජාලා වෙබ් අඩවි හරහා ප්‍රසිද්ධ වෙමින් තිබෙනවා.
එම කුඩා දරුවාගේ මෙම ක්‍රියාව සියැසින් දැක සංවේදී වූ කාන්තාවක් එය ඡායාරූපගත කර සමාජ ජාලා වෙබ් අඩවි හරහා ප්‍රසිද්ධ කර තිබෙනවා.
එහිදී ඇය විසින් කෙටි සටහනක් ද තබා තිබෙනවා.
ඇය එහි සඳහන් කර ඇත්තේ "මෙය වන තැනක නෙවෙයි. අනුරාධපුරේ. කුසගින්න නිවාගත නොහැකි දරුවා කුණුගොඩේ කෑම සොයා ගෙන කනවා. කොළඹ නගරය සංවර්ධනය කිරිම පමණක් ඉළක්ක නොකරගෙන මෙලෙස කුසගින්න නිසා පීඩාවට පත්ව ඇති දරුවන් ගැන අවදානය යොමු කරන්න. ඔවුන්ගේ කුස ගින්න නිවන්නට කටයුතු කරන්න."
මේ සම්බන්ධයෙන් www.nethnews.lk අනුරාධපුර පොලීසියෙන් විමසීමක් කළා. පොලීසිය පැවසුවේ පූජා භුමිය ආශ්‍රීතව මෙවැනි දරුවන් සිටින බවත් ඔවුන්ට නිසි නවා තැන් තිබුණ ද දෙමාපියන්ගේ නොසැළකිළි භාවය හේතුවෙන් මෙවැනි සිදුවීම් වාර්තා වන බවයි.
එවැනි දරුවන්ගේ දෙමාපියන්ට උපදෙස් ලබාදී තිබුණ ද ඔවුන් දරුවන් සම්බන්ධයෙන් තමන්ට ඇති වගකීම පැහැර හැර කටයුතු කරන බවද කියා සිටියා.
කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් www.nethnews.lk ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන්ගෙන් විමසීමක් කළා. ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිඳු පැමිණිල්ලක් ලැබී නොමැති බවත් වහාම ඒ සම්බන්ධයෙන් සොයා බලා අවශ්‍ය පියවර ගන්නා බවත් සඳහන් කළා.