අදට (04) යෙදෙන 70 වන නිදහස් දිනය වෙනුවෙන් අස්ගිරි, මල්වතු සහ රාමඤ්ඤ මහනායක හිමිවරුන් ප්රමුඛ ආගමික නායකයින් ද විශේෂ පණිවුඩ නිකුත් කර තිබෙනවා.
අස්ගිරි පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය වරකාගොඩ ශ්‍රී ඥාණරතන හිමියන් පවසන්නේ එක්සත් නිවහල් ජාතිකයක්ව සිටි ලක්වැසි ජනතාව ඇතැම් ජන ප්‍රධානීන්ගේ බලලෝභී ක්‍රියා හේතුවෙන් භේද භින්න වී සිංහලේ ස්වාධිපත්‍ය හා නිදහස අහිමි කර ගත් බවයි.
හැත්තෑ වන නිදහස් සැමරුමේ දී හෝ ජාතීන් හා ආගම් අතර සමගිය සමාදානය ඇති කොට රටේ ඒකීයත්වය, සමෘද්ධිය හා සෞභාග්‍ය උදා කර ගැනීමට අදිටන් කර ගත යුතු බව උන්වහන්සේ පෙන්වා දෙනවා.
-------------------
මල්වතු පාර්ශ්වයේ මහනායක අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගලාභිධාන හිමියන් පවසන්නේ ඉංග්‍රීසි පාලකයින්ගේ ග්රහණයෙන් මිදී ලබාගත් නිදහස වඩාත් අර්ථවත් නිදහසක් බවට පත් කර ගැනීමට සමත් වී ඇත්දැයි සිතා බැලීමට කාලය උදා වී ඇති බවයි.
අධිරාජ්‍යවාදී පාලකයින්ගෙන් නිදහස දිනාගත් සමකාලීන බෝහෝ රටවල් දියුණුවේ හිණිපෙත්තට නැග ඇති නමුත් ශ්‍රී ලංකාවට තවදුරටත් එම තත්ත්වයට ළඟාවීමට නොහැකි වීම කණගාටුවට කරුණක් බවයි උන්වහන්සේ පෙන්වා දෙන්නේ.
----------------
මේ අතර රාමඤ්ඤ නිකායේ මහනායක අතිපූජ්‍ය නාපානේ පේමසිරි හිමියන් පවසන්නේ නිදහස ලබා ගත වූ වසර 70 තුළ රට දැය වෙනුවෙන් මැනවින් යුතුකම් හා වගකීම් ඉටු කළ නායකයින් මේ මොහොතේ කෘතවේදීව සිහිපත් කළ යුතු බවයි. රටේ වගකීම භාර ගන්නා සියලූ ජන නායකයින් යථාවාදී තථාකාරී ගුණයෙන් යුතුව ප්‍රඥාවෙන් තම වගකීම ඉටු කරන්නේ නම් සමෘද්ධිමත් ශ්‍රී ලංකාවක ප්‍රාර්ථනාව කඩිනමින් සඵල වනු ඇති බවද උන්වහන්සේ පෙන්වා දෙනවා.
-------
මේ අතර 70 වන නිදහස් දිනය වෙනුවෙන් කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ද විශේෂ පණිවුඩයක් නිකුත් කර තිබෙනවා.
අප සියලූදෙනා තනි තනිව නොව පොදුවේ රටක් ජාතියක් ලෙස සාමූහිකත්වයෙන් හා සහෝදරත්වයෙන් ආධ්‍යාත්මික පිබිදීම පෙරදැරි කරගෙන කටයුතු කළ යුතු බවයි උන්වහසන්සේ පෙන්වා දෙන්නේ.
එසේ නොකරන තාක් දේශපාලන නිදහසත් ආර්ථික සංවර්ධනයත් හුදු නාමමාත්රික ව්‍යාපෘතියක් පමණක් බව අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ගේ නිදහස් දින පණිවුඩයේ වැඩිදුරටත් සඳහන්.
---------------------
මේ අතර සමස්ත ලංකා ජමෙයිතුල් උලමා සංවිධානය නිදහස් දිනය වෙනුවෙන් පණිවුඩයක් නිකුත් කරමින් පෙන්වා දෙන්නේ යම් රටක සංවර්ධනය හුදෙක් එහි ජනතාවගේ එක්සත් බව හා අවංක දේශපේ‍්‍රමය මත පදනම් වන බවයි.
එබැවින් ප්‍රජාවන් හා ආගම් අතර එක්සත් බව හා සහජීවනය ඇති කිරීමේ ප්‍රායෝගික ප්‍රවේශයක් සකසා ගැනීමට මෙම අවස්ථාවේ දී මුල පිරීම සියලූ පුරවැසියන්ගේ යුතුකමක් බව ජමෙයිතුල් උලමා සංවිධානය පෙන්වා දෙනවා.