Sunday, May 19, 2024

General line - 0115112241

නීතිඥයින්ගේ තර්ක මැද ඇලෝසියස් සහ පළිසේන රිමාන්ඩ් වුණේ මෙහෙමයි (UPDATE)

අධිකරණ වාර්තාකරු/තරංග රුක්ෂාන්/කසුන් කැලුම්




පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන බන්ධනාගාර නිලධාරීන් විසින් අද පෙරවරුවේ අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයින් සහ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරයා අතර තර්ක ඇති වුණා.

එහිදී ඔවුන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස අධිකරණය හමුවේ කියා සිටියේ මෙම සැකකරුවන්ට එරෙහිව පොදු දේපළ පනත යටතේ කටයුතු කිරීමට නීතිමය පදනමක් නොමැති බවයි.

එමෙන්ම සාපරාධි විශ්වාසය කඩ කිරීම හා සාපරාධි සාවද්‍ය පරිහරණය යන චෝදනා ද මෙම සැකකරුවන්ට අදාළ නොවන බවයි ප‍්‍රකාශ කෙරුණේ.

ඒ අනුව ඔවුන්ට ඇප ලබාදෙන ලෙස ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස අධිකරණයෙන් ඉල්ලා සිිටියා.

කෙසේ වෙතත් නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ කියා සිටියේ මෙම සැකකරුවන් බැඳුම්කර නිකුත් කිරීමේ දී ඉතා වංචා සහගත ලෙස කටයුතු කර රජයට විශාල පාඩුවක් සිදු කර ඇති බවයි.

ඒ අනුව ඔවුන්ට පොදු දේපල පනත යටතේ සහ දණ්ඩ නීති සංග‍්‍රහය යටතේ චෝදනා නැගිය හැකි බව අතිරේක සොලිසිටර් ජනරාල් යසන්ත කෝදාගොඩ පෙන්වා දුන්නා.  

කරුණු සලකා බැලූ කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න මෙම ඇප ඉල්ලීමට අදාළ ලිඛිත දේශන අද සිට දින දෙකක් ඇතුළත ගොනු කරන ලෙස විත්ති පාර්ශ්වයට නියෝග කළා. ඊට ප‍්‍රතිවිරෝධතා දේශන දින 04ක් ඇතුළත අධිකරණයට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත‍්‍රාත්වරිය එහිදී නීතිපතිවරයා වෙත නියෝග කළේ.

ඒ අනුව සැකකරුවන්ගේ ඇප ඉල්ලීම පිළිබඳ නියෝගය ලබන 16 වැනිදා ප‍්‍රකාශයට පත් කරනු ඇති. 

පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන ලබන 16 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ ඒ අනුවයි.

 

----------------------------------

ඇලෝසියස් සහ පළිසේනට අද අධිකරණයෙන් දුන් නියෝගය (UPDATE)

(05-02-2018 11:18)

 

අත්අඩංගුවට ගත් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන අද (05) කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණා.

ඒ අනුව ඔවුන් දෙදෙනා ලබන 16 වැනිදා දක්වා මෙලෙස බන්ධනාගාර ගත කිරීමටයි නියෝග කෙරුණේ.

----------------------------------

අැලෝසියස් සහ පළිසේන අධිකරණයට ගෙන එයි (UPDATE)

(05-02-2018 09:40)

 

අත්අඩංගුවට ගත් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත රැගෙන පැමිණ තිබෙනවා.

ඔවුන් දෙදෙනා ඊයේ (04) උදෑසන අත්අඩංගුවට ගත්තේ ඔවුන්ගේ නිවෙස් වැටලීමෙන් අනතුරුවයි.

---------------------------------------

බැඳුම්කර වංචාවට සැකපිට ඇල්ලු ඇලෝසියස්ව ගෙනිච්ච තැන (UPDATE)

(05-02-2018 05:48)

 

අත්අඩංගුවට ගත් පර්පචුවල් ටෙ‍්‍රෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එහි ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පළිසේන අද (05) දිනය දක්වා රක්ෂිත බන්ධනාගාරගත කර තිබෙනවා.

ඒ, කොළඹ කොටුව මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝග මතයි.

අර්ජුන් ඇලෝසියස් ඊයේ (04) උදෑසන කොල්ලූපිටියේ පිහිටි ඔහුගේ නිවසේ දී අත්අඩංගුවට ගනු ලැබුවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින්. කසුන් පලිසේන ද වැල්ලවත්තේ පිහිටි ඔහුගේ නිවසේ දී එම දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවා.

පසුව ඔවුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත රැගෙනවිත් ප‍්‍රශ්න කර ප‍්‍රකාශ ද සටහන් කරගත් බවයි වාර්තා වුණේ. 

අර්ජුන් ඇලෝසියස් සහ කසුන් පළිසේනට අමතරව මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් ද මහ බැංකු බැඳුම්කර සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන් ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය ඉකුත් දා නම් කළා. 

සිංගප්පූරුවේ සිටින මහ බැංකු හිටපු අධිපතිවරයාට ද පෙබරවාරි 15ට පෙර මෙරටට පැමිණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ප‍්‍රකාශයක් ලබා දෙන ලෙසටයි එහිදී නොතීසි නිකුත් කළේ. 
 

--------------------------------------

බැඳුම්කර වංචාවේ සැකකරුවන් කළ වැරදි කිහිපයක් CIDය හඳුනගනී (UPDATE)

04-02-2018 10:58

 

පර්පචුවෙල් ටෙ‍්‍රෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ සහ එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (04) උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ ඔවුන්ගේ නිවාස වැටලීමෙන් අනතුරුවයි.

බැඳුම්කර වංචාවට අදාළව ඔවුන් දෙදෙනා සැකකරුවන් ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න විසින් නම් කරනු ලැබුවේ ඉකුත් සිකුරාදායි.

හිටපු මහ බැංකු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට ලබන 15 වැනිදා ට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ප‍්‍රකාශයක් ලබා දෙන ලෙස ද මෙහිදී නියෝග කෙරුණා.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මොවුන් සිදු කළ වැරදි කිහිපයක් හඳුනාගෙන තිබෙනවා.

අභ්‍යන්තර රහස්‍ය මූල්‍ය සංවේදිතාවක් ඇති තොරතුරු භාවිත කිරීම, කුමන්ත‍්‍රණය කිරීම හා අනුබල දීම ඉන් එක් වරදක් ලෙසයි හඳුනාගෙන ඇත්තේ. 
 

--------------------------------

නිවෙස් වටලා 'අැලෝසියස් සහ පලිසේන' අල්ලන් යයි (UPDATE)

(04-02-2018 08:00)

 

පර්පචුවෙල් ටෙ‍්‍රෂරිස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප‍්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් අද (04) උදෑසන අත්අඩංගුවට ගනු ලැබුවා.

ඒ ඔවුන්ගේ නිවාස අද උදෑසන වැටලීමෙන් අනතුරුවයි.

අර්ජුන් ඇලෝසියස් කොල්ලූපිටිය මල් පාරේ පිහිිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබූ අතර  කසුන් පලිසේන වැල්ලවත්ත අර්තුසාහි පිහිටි ඔහුගේ නිවසේදී අත්අඩංගුවට ගනු ලැබුවා.

ඔවුන් දෙදෙනා බැඳුම්කර වංචාවට අදාළව සැකකරුවන් ලෙස කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න විසින් ඉකුත් සිකුරාදා නම් කරනු ලැබුවා.

----------------------------------

අර්ජුන් ඇලෝෂියස්ගේ නිවස CID යෙන් වටලයි

(04-02-2018 07:13)

 

පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස්ගේ සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේනගේ නිවාස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් වටලනු ලැබ තිබෙනවා.