Sunday, January 12, 2025

General line - 0115112241

අත්අඩංගුවට පත් උදයංග වීරතුංග රැගෙන ඒම ගැටලුකාරී වෙයි (UPDATE)

සජිත් තිලකරත්න/කසුන් කැලුම්




ඩුබායිහි දී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ‍්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් ගැටළුකාරී තත්වයක් මතුව තිබෙනවා.

ඊයේ (04) උදෑසන ඔහු අත්අඩංගුවට පත්වූයේ ඩුබායි ගුවන් තොටුපලේදීයි. ඒ, සිය පවුලේ සාමාජිකයින් සමග අමෙරිකාව බලා පිටත්ව යාමට උත්සහ දැරූ අවස්ථාවේදීයි.

පසුව කළ සොයා බැලීමක දී අනාවරණ වුණේ උදයංග වීරතුංග අත්අඩංගුවට ගෙන ඇත්තේ එරට ගුවන් තොටුපල ආගමන විගමන නිලධාරීන් විසින් බවයි.

කෙසේ වෙතත් ඔහු සැකකරුවෙකු ලෙස නම් කර ඇත්තේ පැවති ආණ්ඩුව සමයේ සිදු වූ බව කියන මිග්යානා ගනුදෙනුව සම්බන්ධයෙන්. 

කිසියම් රටක දී අත්අඩංගුවට ගන්නා සැකකරුවෙකු ශ‍්‍රී ලංකාවට භාරදීමට නම් එම රට සහ ශ‍්‍රී ලංකාව උදර්පන නීතියට අත්සන් තැබිය යුතු වනවා. එහෙත් ඩුබායි රාජ්‍ය හා ශ‍්‍රී ලංකාව අතර උදර්පන නීතියට අත්සන් තබා නොමැති බැවින් සැකකරුවන් ජාත්‍යන්තර පොලිසිය හරහා ලබාගැනීම ගැටළු සහගත බවයි නීතිවේදීන් පවසන්නේ.

ඒ සම්බන්ධයෙන් ඇති නීතිමය තත්ත්වය පිළිබඳ නෙත් නිවුස් ජ්‍යෙෂ්ඨ නීතීඥ ප‍්‍රතිභා මහනාමහේවාගෙන් විමසීමක් කළා. 

එහිදී ඔහු සඳහන් කළේ දෙරට අතර උදර්පන නීතිය ක්‍රියාත්මක නොවන මෙවන් අවස්ථාවකදී ජාත්‍යන්තර පොලිසිය හරහා සැකකරු ඉල්ලා සිටිමේ හැකියාව ඇති බවයි. එහිදී භාරදීමක් සිදුවුණොත් සැකකරුට පවා සිය අයිතිවාසිකම් වෙනුවෙන් අධිකරණයේ සහය පැතීමට හැකියාවක් පවතින බවත් සඳහන් කළා.

ශ්‍රී ලංකාව සමග  ඩුබායි රාජ්‍ය පවත්වාගෙන යන රාජතාන්ත්‍රික සබඳතා තත්ත්වය මත මේ සම්බන්ධයෙන් පියවරක් ගැනීමට හැකි බවද පෙන්වා දුන්නා.

නෙත් නිවුස් කළ වැඩිදුර විමසීමක දී පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේ උදයංග වීරතුංග මෙරටට රැගෙන ඒම සඳහා නිලධාරීන් කණ්ඩායමක් යැවීම පිළිබඳ මේ වනවිට කටයුතු සම්පාදනය කෙරෙමින් ඇති බවයි.  

 

------------------------------

උදයංග වීරතුංග අත්අඩංගුවට පත් වෙයි

04-02-2018 11:17

 

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ඩුබායි ගුවන් තොටුපලේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඔහු අමෙරිකාව බලා ගමන් කරන අතරතුරදී මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වැඩි දුරටත් වාර්තා වෙන්නේ.

රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට අයත් කොළඹ සහ ගම්පහ ප‍්‍රදේශවල ඉඩම් විකිණිම හෝ අන්සතු කිරීම තහනම් කරමින් කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් අධිකරණය ඉකුත් 19 වැනිදා නියෝගයක් ද නිකුත් කළා.

ඒ, අත්තනගල්ල සහ කොළඹ ඉඩම් රෙජිස්ටාර්වරුන් වෙතයි.

යුක්රේනයෙන් මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළ සිද්ධියේ සැකකරුවෙකු වන බැවින් ඔහුට අදාළව මෙම තහනම් නියෝගය නිකුත් කරන බවයි එහිදී කොටුව මහේස්ත‍්‍රාත් ලංකා ජයරත්න පවසා සිටියේ.