Tuesday, May 21, 2024

General line - 0115112241

එදා ආණ්ඩුවේ බලය කරුණා යොදා ගත් හැටි TNA මන්ත්‍රීවරයෙකු හෙළි කරයි

වසන්ත පිවිතුරු




මහින්ද යුගයේ දී හදිසි නීතිය දීර්ඝ කිරිමට පාර්ලිමේන්තුවේ පැවැති ඡන්ද විමසීමට පක්ෂව ඡන්දය භාවිත කරන ලෙස එවකට නියෝජ්‍ය අමාත්‍ය ධුරය දැරු විනායග මූර්ති මුරලිදන් හෙවත් කරුණා අම්මාන් දෙමළ ජාතික සන්ධානයට බල කළ බව එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සෙල්වම් අඩයිකලනාදන් පවසනවා.

ඔහු කියා සිටියේ ඒ වෙනුවෙන් පක්ෂව ඡන්දය භාවිත කරන තුරු නැගෙනහිර පළාත නියෝජනය කළ දෙමළ ජාතික සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ ඥාතීන්ව කරුණා අම්මාන් විසින් නිවාස අඩස්සියේ තැබු බවයි.

උපරිම ආණ්ඩුවේ බලය සහ හමුදා බලය යොදා ගනිමින් කරුණා අම්මාන් කටයුතු කළ බවත් එල්ටිටිඊ සංවිධානයෙන් ඔහු ඉවත් වුවද මහින්ද රාජපක්ෂ ආණ්ඩුව සමග එක්වී උතුරු නැගෙනහිර ජනතාවට ආණ්ඩුවේ බලය පෙන්වූ බවයි මන්ත්‍රීවරයා කියා සිටියේ.

ඒ හැරුණු කළ රට වෙනුවෙන් හෝ ජනතාව වෙනුවෙන් කරුණා අම්මාන් කිසිවක් සිදු නොකළ බව ද මන්ත්‍රී සෙල්වම් අඩයිකලනාදන් පෙන්වා දුන්නාග

ඔහු මෙම අදහස් පල කළේ මඩකළපුව වලච්චේනයි ප්‍රදේශයේ පැවති දෙමළ ජාතික සන්ධානයේ මැතිවරණ ප්‍රචාරක රැළියකට එක්වෙමින්.

එවැනි ඉතිහාසයක් ඇති කරුණා අම්මාන්ට අද වත්මන් ආණ්ඩුව සම්බන්ධයෙන් චෝදනා නැගීමේ අයිතියක් නොමැති බවද ඔහු  කියා සිටියා.

දෙමළ ජාතික සන්ධානය විපක්ෂ නායක ධුරය හිඟමන් යදින බවත් එම තනතුර ආරක්ෂා කර ගැනීම වෙනුවෙන් එම පක්ෂය ආණ්ඩුවේ වැරදි පෙන්වා නොදෙන බවත් පසුගියදා මඩකළපුව ප්‍රදේශයේ දී කරුණා අම්මාන් පැවසුවා.

ඊට පිළිතුරු දෙමින් මන්ත්‍රී සෙල්වම් අඩයිකලනාදන් මේ බව කියා සිටියා.

දෙමළ ජාතික සන්ධානයට නිසි ගෞරවය හා ස්ථානය වත්මන් ආණ්ඩුව විසින් ලබාදී ඇති බවයි එහිදී මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ වෙතත් තමන් ආණ්ඩුවේ වැරදි පෙන්වා දීමට කිසි විටෙක පසුබට නොවන බවත් ජනතාවගේ අවශතාවය් හා සංවර්ධනයන් වත්මන් ආණ්ඩුව විසින් සිදුකරන නිසා ගැටළුවක් පැන නොනගින බවත් ඔහු එහිදී සඳහන් කළා.