Sunday, May 19, 2024

General line - 0115112241

වසර 9ක් සඟවාගෙන හිටපු රහස් සම්බන්දන් හෙළි කරන්නේ දේශපාලන වාසියට ද? නැතිනම් මහින්දගේ බලය බිඳින්නද?

වසන්ත පිවිතුරු




දෙමළ ජනතාවගේ ගැටළු විසඳීම සම්බන්ධයෙන් දෙමළ ජාතික සන්ධානය හා හිටපු ජනාධපති මහින්ද රාජපක්ෂ මහතා අතර සාකච්ඡා වට 19 ක් පැවති බවත් එම සාකච්ඡා වටවලදී හිටපු ජනාධිපතිවරයා තමාට තර්ජනය කළ බවත් විපක්ෂ නායක ආර්. සම්බන්දන් පවසනවා.

හිටපු ජනාධිපතිවරයා පමණක් නොව එහි සිටි සියළු දෙනා තමා ඇතුළු දෙමළ ජාතික සන්ධානයේ නියෝජිතයින්ට තර්ජනය කළ බවයි ඔහු කියා සිටියේ.

විපක්ෂ නායක ආර්.සම්බන්දන් මෙම අදහස් පල කළේ ත්‍රිකුණාමලයේ පැවති මැතිවරණ ප්‍රචාරක රැළියට සහභාගී වෙමින්.

එවැනි පුද්ගලයෙකු යළි බලයට පැමිණීමෙන් දෙමළ ජනතාවට දැන් ලැබී ඇති නිදහස අහිමි වනු ඇති බවයි ඔහු එහිදී කියා සිටියේ.

තමන් සමග සාකච්ඡා කිරිම සඳහා දෙමළ ජාතික සන්ධානයට ඇරයුම් කළ ද එම සාකච්ඡා වට සඳහා දෙමළ ජාතික සන්ධානය සහභාගී නොවු බවයි පසුගියදා යාපනයේ දී පැවති ජනරැළියක් අමතා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සඳහන් කළේ.

ඊට පිළිතුරු ලබාදෙමින් විපක්ෂ නායක ආර් සම්බන්දන් මේ බව කියා සිටියා.

හිටපු ජනාධිපතිවරයාගේ සැබෑ තත්ත්වය ජනතාව වටහා ගත යුතු බව පැවසු විපක්ෂ නායකවරයා 2011 වසරේ දී පැවති සාකච්ඡා වටයේ දී තමා ඇතුළු  දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන්ට දැඩි ලෙස තර්ජනය කළ බවද කියා සිටියා.

2009 වසරේ දී මෙරට යුද්ධය නිමා වීමෙන් පසු ජගත් මහලේකම්වරයා දිවයිනට පැමිණි අවස්ථාවේ වගවීම හා දෙමළ ජනතාවගේ ගැටළු විසඳීමට තම රජය කටයුතු කරන බවට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොරොන්දු වුවද ඒ සම්බන්ධයෙන් කිසිඳු පියවරක් නොගත් බවයි විපක්ෂ නායකවරයා අනාවරණය කළේ.

එමෙන්ම මෙම කරුණු පිළිබඳව සාකච්ඡා කිරිමට ඉන්දියාව සහ අමෙරිකාව මැදිහත් වී ක්‍රියා කළ බවත් ඔහු කියා සිටියා.

එමෙන්ම අමෙරිකාවේ සහාකාර රාජ්‍ය ලෙක්ම් රොබට් ඕ බ්ලේක් ශ්‍රී ලංකාවට පැමිණි අවස්ථාවේ දී තමාව මුණගැසි කරුණු පැහැදිළි කළ බවද ආර්. සම්බන්දන් කියා සිටියා.

"ඔබේ රටේ ජනාධිපතිවරයා වෙනස් නොවනු ඇති. ඔහු පැරැණි දේවල් පසු පස හඹා යනවා. ඔහු වෙනස් වන තුරු බලා නොසිට අප වෙනස් විය යුතුයි." යන්නයි එහිදී රොබට් ඕ බ්ලේක් තමා වෙත කරුණු අනාවරණය කළ බව විපක්ෂ නායකවරයා සඳහන් කළා.

තවදුරටත් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ වැනි අයෙකු බලයට පත් කළ යුතුද නැද්ද යන්න සම්බන්ධයෙන් ජනතාව තීරණය කළ යුතු බවද ත්‍රිකුණාමලයේ පැවැති මැතිවරණ ප්‍රචාරක රැළිය අමතමින් විපක්ෂ නායක ආර්. සම්බන්දන් වැඩිදුරටත් කියා සිටියා.