Saturday, January 11, 2025

General line - 0115112241

උදයංගව ලංකාවට අරන් එන්න දිවයිනෙන් අද පිටත්වන විශේෂ කණ්ඩායම (UPDATE)

තරංග රුක්ෂාන් ජයසේකර




ඩුබායිහි දී අත්අඩංගුවට ගත් රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා 7දෙනෙකුගෙන් යුත් විශේෂ පොලිස් කණ්ඩායමක් ඩුබායි බලා අද (07) පිටත්ව යනවා. 

පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරීන් දෙදෙනෙකු, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරියෙකු, නීතිපති දෙපාර්තමේන්තුවේ නිලධාරීන් දෙදෙනෙකු හා ආගමන විගමන දෙපාර්තමේන්තුවේ නිලධාරියෙකුද ඊට අයත්. 

එහිදී උදයංග වීරතුංග මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් වන නීතිමය තත්ත්වය පිළිබඳ සොයා බැලීමට නියමිතයි. නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක කියා සිටියේ උදයංග වීරතුංග මෙරටට රැගෙන ඒම සඳහා ඩුබායි බලධාරීන් සමග දැනටමත් සාකච්ඡා ආරම්භ කර ඇති බවයි. 

කෙසේ වෙතත් නීතිවේදීන් උපුටා දක්වමින් ඉකුත් සඳුදා නෙත් නිවුස් උදෑසන 06.25 ප්‍රවෘත්ති ප්‍රකාශයෙන් අනාවරණ කළේ උදයංග වීරතුංග මෙරටට රැගෙන ඒම සම්බන්ධයෙන් ගැටළුවක් මතුව ඇති බවයි. කිසියම් රටක දී අත්අඩංගුවට ගන්නා සැකකරුවෙකු ශ්‍රී ලංකාවට භාරදීමට නම් එම රට සහ ශ්‍රී ලංකාව උදර්පන නීතියට අත්සන් තැබිය යුතු වනවා. 

එහෙත් ඩුබායි රාජ්‍ය හා ශ්‍රී ලංකාව අතර උදර්පන නීතියට අත්සන් තබා නොමැති බැවින් සැකකරුවන් ජාත්‍යන්තර පොලිසිය හරහා ලබාගැනීම ගැටළු සහගත බවයි නීතිවේදීන් එහිදී පෙන්වා දුන්නේ. ඊයේ පැවැති මාධ්‍ය හමුවකදී අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්ද එය තහවුරු කළා. 

ඉකුත් ඉරිදා උදයංග වීරතුංග අත්අඩංගුවට පත්වූයේ ඩුබායි ගුවන් තොටුපලේදීයි. ඒ, සිය පවුලේ සාමාජිකයින් සම`ග අමෙරිකාව බලා පිටත්ව යාමට උත්සහ දැරූ අවස්ථාවේදීයි. පසුව කළ සොයා බැලීමක දී අනාවරණ වුණේ උදයංග වීරතුංග අත්අඩංගුවට ගෙන ඇත්තේ එරට ගුවන් තොටුපල ආගමන විගමන නිලධාරීන් විසින් බවයි. 

------------------------

උදයංග වීරතුංග සම්බන්ධයෙන් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු අරඹයි (05-02-2018 20:07)

වසන්ත පිවිතුරු

ඩුබායිහිදී ඊයේ (04) අත්අඩංගුවට ගැනුනු රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මේ වනවිටත් රාජ්‍ය තාන්ත්‍රික කටයුතු ආරම්භ කර ඇතැයි අමාත්‍ය සාගල රත්නායක පවසනවා.

එලෙස ශ්‍රී ලංකාවට රැගෙන ඒමෙන් පසු ඔහු සම්බන්ධයෙන් ඉදිරි නීතිමය කටයුතු ශ්‍රී ලාංකේය අධිකරණ විසින්ම සිදු කෙරෙනු ඇති බවයි අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේ.

කිසියම් රටකදී අත්අඩංගුවට ගැනුනු පුද්ගලයෙකු වෙනත් රටකට භාරදිම බොහෝ විට සිදු වන්නේ  උදර්පණ නීතිය යටතේයි.

ඒ සඳහා අදාළ රටවල් 02 ගිවිසුමකට එළඹ සිටිය යුතු බවත් එහෙත් ඩුබායි රාජ්‍යය සහ ශ්‍රී ලංකාව එවැනි ගිවිසුමකට අත්සන් තබා නැතැයිද නෙත් නිවුස් අද (05) උදෑසන  කළ විමසීමකදී ආචාර්ය ප්‍රතිභා මහානාමහේවා පැවසුවා.

ඒ අනුව උදයංග වීරතුංග ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීමට සිදුවන්නේ ඩුබායිහි අධිකරණයට ඉදිරිපත් කර ජාත්‍යන්තර පොලීසිය හරහා බවයි ඔහු වැඩිදුරටත් පැවසුවේ.