Saturday, January 11, 2025

General line - 0115112241

ශ්‍රී ලංකාවේ වත්මන් රජයේ සංහිඳියා වැඩපිළිවෙලට කැළලක් - චැනල් ෆෝ යළි කරලියට (VIDEO)

වසන්ත පිවිතුරු




බ්‍රිතාන්‍යයේ සිටින ශ්‍රී ලාංකීක දෙමළ ජනතාවට මරණීය තර්ජනය එල්ල කළ බවට චෝදනා එල්ලවී ඇති ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් ප්‍රියංග ප්‍රනාන්දු බ්‍රිතාන්‍ය නීතිය උල්ලංඝණය කර ඇති බව චැනල් ෆෝ (4) නාළිකාව පවසනවා.

එහි මාධ්‍යවේදී කැලම් මැක්රේ මේ පිළිබඳව අවධාරණය කර ඇති බවයි එම නාළිකාව පවසන්නේ.

කෙසේ වෙතත් පසුගිය 04 වනදාට යෙදී තිබු ශ්‍රී ලංකාවේ 70 වන නිදහස් දිනය වර්ජනය කරමින් බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල්ටීටීඊ හිතවාදී පිරිස් විරෝධතාවයක නිරත වුණා.

එහිදී විවිධ ආදර්ශ පුවරු මෙන්ම කළු කොඩි අතදරා කළු ඇඳුමෙන් සැරසි එල්ටීටීඊ හිතවාදී පිරිස් විරෝධතාවයේ නිරත වුණා.

එම විරෝධතාව වැළක්වීමට රාජතාන්ත්‍රික මට්ටමින් උත්සාහයක් තිබු බවයි චැනල් ෆෝ (4) නාළිකාව වාර්තා පල කර තිබෙන්නේ.

මේ අතර බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ලෙස කටයුතු කරන ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරියෙකු වන බ්‍රිගේඩියර් ප්‍රියංග ප්‍රනාන්දු සිය බෙල්ලේ අත තබාගෙන විරෝධතාකරුවන්ට යම් ආකාරයක සංඥාවක් නිකුත් කිරිම පටිගත වී ඇති අතර එය පසුගිය දිනවල සමාජ ජාලා වෙබ් අඩවි ඔස්සේ මුදාහැර තිබුණා.

චැනල් ෆෝ (4) නාළිකාව පෙන්වා දෙන්නේ අදාළ බ්‍රිගේඩියර්වරයා විසින් බරපතල වරදක් සිදුකර ඇති බවයි.

එවැනි තර්ජනයක් කිරිමේ හැකියාවක් ඔහුට හෝ කිසිවෙකුට නොමැති බවයි නාළිකාව සඳහන් කර තිබෙන්නේ.

එම නිසා වහාම ඔහුව අත්අඩංගුවට ගෙන රටින් පිටුවහල් කරන ලෙස ද චැනල් ෆෝ (4) නාළිකා මාධ්‍යවේදි කැලම් මැක්රේ පෙන්වා දී තිබෙනවා.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගී එන අවස්ථාවක මෙලෙස රාජ්‍ය නිලධාරියෙකු කටුයුතු කිරිම ශ්‍රී ලංකා රජය විසින් ගෙන යන සංහිඳියා වැඩපිළිවෙලට විශාල හානියක් එක්කරන බවය ද චැනල් ෆෝ (4) නාළිකාව සඳහන් කර තිබෙනවා.

එම නිසා මෙම බ්‍රිගේඩියර්වරයා හමුදා අධිකරණය හමුවට පමුණුවිය යුතු බවද එම නාළිකාව අවධාරණය කර තිබෙනවා.

යුද්ධය සමයේ ශ්‍රී ලංකාවේ සිදුවූ බව කියන මානව හිමිකම් කඩවීම සම්බන්ධයෙන් ජාත්‍යන්තර අධිකරණයක් මගින් කටයුතු කළ යුතු බව පවසන පාර්ශ්වයේ ප්‍රධාන කොටස්කරුවෙකු ලෙස චැනල් ෆෝ (4) නාළිකාවේ මාධ්‍යවේදි කැළම් මැක්රේ සැලකෙනවා.

ශ්‍රී ලංකාවේ යුද්ධය සම්බන්ධයෙන් මොහු විසින් නිර්මාණය කළ කෙටි චිත්‍රපටය ලොව රටවල අවදානයට ලක්වූ අතර එයද ජගත් මානව හිමිකම් කවුන්සිලය සාක්ෂියක් ලෙස යොදා ගෙන පරික්ෂය පැවැත්වීම විශේෂිතයි.

මේ අතර නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ අදාළ සිද්ධියට සම්බන්ධ හමුදා නිලධාරියාගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවා ඇති බවයි.

මේ සම්බන්ධයෙන් වහාම කටයුතු කරන මෙන් බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහා කොමසාරිස්වරයා වෙත දැනුම් දී ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් විදේශ කටයුතු අමාත්‍යංශය පැවසුවේ.

ඒ අනුව ඔහු  බ්‍රිතාන්‍යයේ පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදෙස් තනතුරෙන් ඉවත් කරනු ඇති.

මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා යුද හමුදාව ද පරික්ෂණයක් ආරම්භ කර ඇති බව සඳහන්.