මහ බැංකු බැඳුම්කර වාර්තාව හා බරපතල වංචා විමර්ශන කොමිසමේ වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය අද (06) වාද විවාද මධ්‍යයේ පැවැත්වුණා. උදෑසන 10.30ට ආරම්භ වුණු විවාදය අවසන් වුණේ සවස 04.00ටයි. එහිදී සභාව ඇමතූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කියා සිටියේ බැඳුම්කර වාර්තාව සම්බන්ධයෙන් දැනටමත් කටයුතු කර ඇති බවයි. එමෙන්ම අනෙකුත් කොමිසම සම්බන්ධයෙන් ඉදිරියේ දී අවශ්‍ය පියවර ගන්නා බවද අග්‍රාමාත්‍යවරයා මෙහිදී කියා සිටියා.
පසුව විවාදයට එක්වූයේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායකයි. ඔහු කියා සිටියේ ආණ්ඩු බලයේ ඇති අයට පළාත් පාලන ආයතන භාර නොදැන ලෙසයි. ඉහළ නිලධාරින්ගේ බලය යොදාගෙන පහල නිලධාරින් වැරදි කරන බවද මන්ත්‍රීවරයා වැඩිදුරටත් කියා සිටියා.
එක්සත් ජනතා නිදහස් සන්ධානය වෙනුවෙන් අදහස් දැක්වූ අමාත්‍ය මහින්ද අමරවීර, මහ බැංකු හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන් සහ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රජා අයිතිය අහෝසි කිරිම සම්බන්ධයෙන් අදහස් පළ කළා.
ජාත්‍යන්තරයේ කුමන තැනක සැඟවී සිටිය ද අර්ජුන් මහේන්ද්‍රන්වද අත්අඩංගුවට ගෙන දඬුවම් කරන බවයි අමාත්‍යවරයා කියා සිටියේ.
එමෙන්ම කිසිඳු පාර්ශ්වයක් පාර්ලිමේන්තුවට ගෙන්වා ඔවුන්ගේ ප්‍රජා අයිතින් අහෝසි කිරිමට ආණ්ඩුව අකමැති බවත් අධිකරණ පද්ධතිය අවශ්‍ය පියවර ගනු ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියා.
ඒකාබද්ධ විපක්ෂය වෙනුවෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් විරවංශ බැඳුම්කර ගනුදෙනුව හේතුවෙන් රටට සිදුවූ බලපෑම පිළිබඳව අදහස් පළ කළා. ඔහු කියා සිටියේ මෙම සොරකම හේතුවෙන් ශ්‍රී ලංකාවේ සම්පූර්ණ ආර්ථිකය බිඳ වැටුනු බවත් මෙම සොරකම සිදු කළ අය සම්බන්ධයෙන් නීතිය නිසි ආකාරව ක්‍රියාත්මක කළ යුතු බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක ද විවාදයට එක්වෙමින් තමන්ට එරෙහි චෝදනා පිළිබඳ අදහස් පළ කළා.
ඔහු කියා සිටියේ බැඳුම්කර කොමිසම තමා සම්බන්ධයෙන් කැකිල්ලේ තීන්දුවක් රැගෙන ඇති බවයි.
මහ බැංකු බැඳුම්කර වාර්තාව හා බරපතල වංචා විමර්ශන කොමිසමේ වාර්තා පිළිබඳ පාර්ලිමේන්තු විවාදය ලබන 20 සහ 21 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.