Saturday, January 11, 2025

General line - 0115112241

ප්‍රධාන දේශපාලන පක්ෂ පුංචි ඡන්දේ අවසන් මැතිවරණ රැළි සඳහා සැරසේ

තරංග රුක්ෂාන් ජයසේකර




පළාත් පාලන ආයතන ඡන්ද විමසීම වෙනුවෙන් ප්‍රධාන පක්ෂ සංවිධාන කරන අවසන් ජන රැළි අද (07) පැවැත්වෙනවා. එක්සත් ජාතික පක්ෂයේ අවසන් ජන රැළිය අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වෙන්නේ කොළඹ කොස්ගස්හන්දිය ප්‍රදේශයේදීයි. 

මෙතෙක් සිදු කළ මැතිරවණ ප්‍රචාරක කටයුතු පිළිබඳ අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් නෙත් නිවුස් වෙත කරුණු දක්වමින් කියා සිටියේ ඉතාමත් සාර්ථකව සිය මැතිවරණ කටයුතු මෙහෙයවීමට එක්සත් ජාතික පක්ෂය කටයුතු කළ බවයි.
අනෙකුත් පක්ෂ මැතිවරණ ප්‍රචාරක කටයුතු නියමිත දිනයට පෙර ආරම්භ කළත් අවසන් දිනය වන විට දුර්වලතාවයට පත්ව ඇති බවත් එක්සත් ජාතික පක්ෂය එම සියළු පක්ෂ අභිබවා සිය මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වූ බවත් ඔහු කියා සිටියා.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ අවසන් ජන රැළිය පොළොන්නරුවේදී පැවැත්වෙන්නේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන්. 

අමාත්‍ය චන්දිම වීරක්කොඩි කියා සිටියේ ගමේ ජනතාගේ සිතුම් පැතුම් හොඳින් වටහා ගෙන ඇති ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජයග්‍රහණය සඳහා රටේ ජනතාව නිසි ලෙස පෙළ ගස්වා ඇති බවයි.

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අවසන් ප්‍රචාරක රැළිය හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් හෝමාගමදී පැවැත්වෙනවා. 
මෙතෙක් පැවැති ප්‍රචාරක කටයුතු සහ ඊට ලැබුනු ප්‍රතිචාර සම්බන්යෙන් අදහස් දැක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල කියා සිටියේ රට පුරා නැවුම් මැතිවරණ ප්‍රචාරක කටයුත්තක නිරත වෙමින් පොහොට්ටුව ජයග්‍රහණය කරවීමට අවශ්‍ය කටයුතු සූදානම් කර ඇති බවයි.

ජනතා විමුක්ති පෙරමුණේ අවසන් ප්‍රචාරක රැළිය පැවැත්වෙන්නේ මහරගමදීයි. ප්‍රධාන රැළිය මහරගම දී පැවැතිය ද දිවයින පුරා විවිධ ස්ථානවල තවත් ප්‍රචාරක රැළි පැවැත්වෙන බවත් වංචා දූෂණය පරදවන්න රටේ ජනතාව පෙළ ගැස්වීමට තමන්ට හැකි වූ බවත් ඒ සඳහා ජනතාව සූදානමින් සිටින බවත් සිය මැතිවරණ ප්‍රචාරක කටයුත් සම්බන්ධයෙන් කරුණු දක්වමින් එහි ප්‍රචාරක ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් කියා සිටියා.

මේ අතර සෙසු දේශපාලන පක්ෂවල අවසන් මැතිවරණ ප්‍රචාරක රැළි ද අද පැවැත්වීමට නියමිතයි.