Saturday, January 11, 2025

General line - 0115112241

අන්තර්ජාලය කළඹන බ්‍රිගේඩියර්වරයා වෙනුවෙන් උපවාසයක් - ජනපතිගේ නියමයෙන් යළි සේවයට

තරංග රුක්ෂාන් ජයසේකර




බ්‍රිතාන්‍යයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයට අනියුක්තව සේවය කළ ශ්‍රී ලංකා හමුදා සාමාජිකයෙකුගේ සේවය අත්හිටුවන්නැයි කළ නියෝගය සම්බන්ධයෙන් පාර්ශව රැසක් සිය විරෝධය පළ කරනවා. 

ඔහුගේ සේවය අත්හිටුවීමට නියෝග කර ඇත්තේ විදේශ කටයුතු අමාත්‍යාංශය විසින්. මෙම තීරණය කිසිසේත්ම පිළිගත නොහැකි බවයි නීතීඥ සංවිධාන ජාතික එකමුතුව පවසන්නේ. මෙලෙස විරෝධය පළ කරන සංවිධාන අතරට ශ්‍රී ලංකා තරුණ නීතීඥ සංවිධානය, ශ්‍රී ලංකා රණවිරු නීතිඥ සංසදය, යුක්තිය උදෙසා නීතිඥ එකමුතුව, නීතියේ ආධිපත්‍ය හා මානව හිමිකම් සුරැකීමේ නීතීඥ සංවිධානය මෙන්ම අනුරාධපුර නීතිඥ සංවිධානයද ඇතුළත්. ‍

මේ ඔවුන් වෙනුවෙන් අදහස් දැක්වූ නීතීඥ සංවිධාන ජාතික එකමුතුවේ කැඳවුම්කරු නීතීඥ මනෝජ් ගමගේ කියා සිටියේ අදාළ නිලධාරියාගේ සේවය අත්හිටුවන්නැයි කළ නියෝගය සාධාරණ නොවන බවයි.

මෙම සිද්ධිය වාර්තා වූයේ මෙරට 70වන නිදහස් දිනය යෙදී තිබූ දිනයේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලය ඉදිරිපිට එල් ටී ටී ඊ හිතවාදීන් උද්ඝෝෂණයක් සිදු කළ අවස්ථාවේයි. එම ස්ථානයට පැමිණි බ්‍රිගේඩියර් ප්‍රියංකර ප්‍රනාන්දු නම් වූ මෙම හමුදා සාමාජිකයා සිදු කළ අභිනයක් මේවනවිට දැඩි කථා බහට ලක්ව තිබෙනවා. ‍

ඊළාම් කොඩි ඔසවා උද්ඝෝෂණයේ යෙදුනු පිරිස දෙස බලා ඔහු සිය හමුදා නිල ඇඳුමේ සවිකර තිබූ සිංහ ධජය ඔවුන්ට පෙන්වා වට කිහිපයක් සිය ගෙල වටා ඇගිලි දෙකක් යවන ආකාරයේ වීඩියෝවක් පසුව සමාජ ජාල වෙබ් අඩවි වෙත නිකුත් වී තිබුණා. 

විදේශ කටයුතු අමාත්‍යාංශය පැවසුවේ එම වීඩියෝ දර්ශන අධ්‍යයනය කිරීමෙන් අනතුරුව සිද්ධිය සම්බන්ධයෙන් සිය අවධානය යොමු කළ බවයි. 

කෙසේ වෙතත් ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයෙන් අද දින :07- නැවත එම නිළධාරියා සේවයේ පිහිටුවා ඇති බව වාර්තාවනවා.

එම උපදෙස් අනුව ඔහුට අහිමි වූ එම තනතුර නැවත ලබා දීම  සදහා යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා ඇතුළු පිරිස කටයුතු කර ඇතැයි සදහන්.