Saturday, January 11, 2025

General line - 0115112241

කොටි හිතවාදීන්ට සිංහ කොඩිය පෙන්වූ බි‍්‍රගේඩියර් ගැන දේශපාලන වේදිකාවෙන් ඇසෙන කතා




බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කර්යාලයට අනුයුක්තව සේවය කළ බි‍්‍රගේඩියර් ප‍්‍රියංකර ප‍්‍රනාන්දුගේ සේවය අත්හිටුවීම සහ පසුව ඔහු නැවත සේවයේ පිහිටුවීම සම්බන්ධයෙන් ද දේශපාලන වේදිකාවේ අද අදහස් පළ වුණා. මෙම නිලධාරියාගේ සේවය අත්හිටවනු ලැබුවේ විදේශ කටයුතු අමාත්‍යංශය විසින්. ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ නියෝගයක් අනුව ඔහු නැවත සේවයේ පිහිටවනු ලැබුවා. 

බි‍්‍රතාන්‍යයේ ශ‍්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට ඊළාම් කොඩිය ද රැගෙන උද්ඝෝෂණයක යෙදුණු එල් ටී ටී ඊ හිතවාදීන් පිරිසක් හමුවේ සිදුකළ අභිනයක් සම්බන්ධයෙනුයි බි‍්‍රගේඩියර් ප‍්‍රියංකර ප‍්‍රනාන්දු චෝදනාවට ලක්ව සිටියේ. ඔහු සිය නිල ඇඳුමේ සවිකර තිබූ සිංහ ධජය පෙන්වා වට කිහිපයක් සිය ගෙළ වටා ඇඟිලි දෙකක් යවා පෙන්වීම ප‍්‍රශ්නගත අභිනය වුණා. 

අමාත්‍ය සුසිල් පේ‍්‍රම්ජයන්ත් පවසන්නේ ජාතික කොඩිය ප්‍රදර්ශනය කිරීම වරදක් විය නොහැකි බවය. "එතනදි එතුමට ජාතික කොඩියක් නැති නිසා ඒ විදියට පෙන්නුව. හරිනම් අපේ ජාතික කොඩියත් අපි ප්‍රදර්ශනය කරන්නයි තිබුණේ." යැයැ ඔහු පවසනවා.

පාර්ලිමේන්තු මන්ත‍්‍රී කෙහෙලිය රඹුක්වැල්ල පවසන්නේ, විදේශ කටයුතු අමාත්‍යංශය මගින් වැඩ තහන්ම් කළ හමුදා නිලධාරියා ජනාධිපතිවරයා විසින් නැවත සේවයේ පිහිටුවීම ආණ්ඩුව ගොනයි මීමයි සේ කටයුතු කිරීම ඇඟවෙන හොඳම උදාහරණය බවය. ‍

"මේ දෙන්න කතා වෙලා මේක කරනවද දන්නේත් නැහැ. උඹ නවතත්පන් මම දෙන්නම් කියල. ඔයා දෙන්න මං අයින් කරන්නම් කියල. ඒ කෙහොම වුණත් මේ විකෘතිය තමයි මේ රටේ ජනතාව පීඩනයට ලක් කරල තියෙන්නේ." යැයි ද ඔහු පවසනවා.