Sunday, September 8, 2024

General line - 0115112241

දිවයිනට කැඳවූ බි‍්‍රගේඩියර් විදේශ කටයුතු අමාත්‍යාංශයට කැඳවයි

හේමන්ත කහවලගේ/තරංග රුක්ෂාන් ජයසේකර




දිවයිනට කැඳවූ බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශක බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු අද (23) දිනයේ විදේශ කටයුතු අමාත්‍යාංශයට පැමිණිමට නියමිතයි. ඒ, අමාත්‍යාංශයෙන් කරන ලද කැදවීමකට අනුවයි.

යුධ හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි ඔහු මෙලෙස අද දිනයේ විදේශ කටයුතු අමාත්‍යාංශය වෙත පැමිණෙනු ඇති. මීට අමතරව බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු අද දිනයේ යුද හමුදා මූලස්ථානයට ද පැමිණීමට නියමිතයි. මෙහිදී සිදු කිරිමට නියමිතව ඇත්තේ මතභේදාත්මක සිද්ධිය සම්බන්ධයෙන් වූ කරුණු සාකච්ඡා කිරිමක්. 

බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු, බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක කටයුතු පිළිබඳ උපදේශකවරයෙකු ලෙස සිය රාජකාරී ආරම්භ කරන්නේ 2017 වසරේ මැයි මස 08වනදායි. එතැන් සිට මේ දක්වා ඔහු එම ධුරයේ අඛණ්ඩව රාජකාරී සිදු කළා. දැඩි කතා බහට ලක්වූ සිද්ධිය වාර්තා වන්නේ ශී‍්‍ර ලංකාවේ 70වන නිදහස් දිනය යෙදී තිබූ පසුගිය පෙබරවාරි 04වනදායි.

එහිදී ලන්ඩනයේ ශී‍්‍ර ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉදිරිපිට විරෝධතාවක නිරත වූ එල් ටී ටී ඊ හිතවාදීන් පිරිසකට සිය නිල ඇඳුමේ තිබූ සිංහ ධජය සහ ගෙල පෙන්වා අභිනයක් සිදු කිරීම හේතුවෙනුයි බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු දැඩි කතා බහකට ලක්වුණේ. පසුව ඔහුගේ සේවය තාවකාලිකව අත්හිටුවීමට විදේශ කටයුතු අමාත්‍යාංශය පියවර ගත්තා. එහෙත් අනතුරුව ජනාධිපතිවරයාගේ නියෝග කළේ බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු යළිත් එම රාජකාරීවල පිහිටුවනු ලෙසයි.

මේ අතර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් නෙත් නිවුස් ජ්‍යෙෂ්ඨ රාජ්‍ය තාන්තී‍්‍රක නිලධාරියෙකු වන ආචාර්ය දයාන් ජයතිලකගෙන්ද විමසීමක් කළා. ඔහු කියා සිටියේ බි‍්‍රගේඩියර් පි‍්‍රයංක ප‍්‍රනාන්දු යළි මෙරටට කැඳවීම සුභදායක පියවරක් නොවන බවයි. 

මේ අතර බි‍්‍රතාන්‍යයේ ශී‍්‍ර ලංකා මහකොමසාරිස් අමාරී විජේවර්ධන ද එම ධූරයෙන් ඉවත් වී තිබූ අතර ඇයගේ ධුර කාලය අවසන් වීම ඊට හේතුව බවයි විදේශ කටයුතු අමාත්‍යාංශය ඊයේ පැවසුවේ.