Wednesday, January 1, 2025

General line - 0115112241

බස් රථයේ පුපුරා ගිය බෝම්බය ගෙනා සැකකරු හඳුනා ගත්තත් ප්‍රශ්න කරන්න බැහැ

පාලිත ආරියවංශ




දියතලාව කහගොල්ලේදි ඉකුත් 21 වැනිදා අලුයම බස් රථයක අත්බෝම්බයක් පිපිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් එම අත්බෝම්බය රැගෙන එන්නට ඇතැයි සැකකරන යුධ හමුදා නිළධාරියාට (බලලත් නිලධාරි 11) විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරන බව පොලිසිය පවසනවා.

කෙසේ නමුත් මෙම යුද හමුදා නිලධාරියා මෙම සිද්ධියෙන් බරපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලේ දී සැත්කමකට භාජනය කර ආසධ්‍ය තත්ත්වයෙන් පසුවන නිසා කට උත්තරයක් ලබාගැනීමට මේ දක්වා නොහැකි වී ඇති බවයි පොලිසිය සඳහන් කරන්නේ.

සැකකරු අසුන්ගෙන සිටි අසුනේ දෙපැත්තේ සිටි යුධ හමුදා නිලධාරින් ද බරතපතල තුවාල ලබා දියතලාව මූලික රෝහලේ ප්‍රතිකා ලබනවා.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ එක් නිලධාරියෙකුට සැත්කමක් මගින් ඔහුගේ වම්කකුලේ දණ හිස අසලින් කොටස ඉවත් කිරීමටද සිදුව තිබෙනවා.

ඊට අමතරව අනෙක් පසින් අසුන්ගෙන සිටි ගුවන් භටයෙකුගේ පාදයටද තුවාල සිදුව තිබෙන බවයි අප වාර්තාකරු වැඩි දුරටත් සඳහන් කළේ. 

සැකකරු අසුනින් නැගිට බසයෙන් බහින්නට සුදානම් වන විටම සැකකරු සන්තකයේ තිබු යමක් බිම වැටෙන ශබ්දයක් ඇසුන බවත් එසැනින් බසය තුළ පිපිරීමක් ඇතිවී ගිනි ගැනීමක් සිදුවු බවත්  දියතලාවේ ගුවන් හමුදා කදවුරට අනුයුක්ත ගුවන් භටයෙකු සිද්ධිය සම්බන්ධයෙන් සාක්ෂි දෙමින් ප්‍රකාශ කර ඇතැයිද පොලිසිය පවසන බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

සැකකරු  මකුල්ඇල්ල උඩස්පත්තුව ප්‍රදේශයේ පදිංචිකරුවෙක් වන අතර දියතලාව යාන්ත්‍රික ඉංජිනේරු බලකායට අනුයුක්තව සේවය කරන බවත් ඔහු නිවාඩු ලබා නිවෙස වෙත ගොස් ආපසු පැමිණෙමින් සිටියදී මෙම අත්බෝම්බය රැගෙන එන්නට ඇතැයි සැක කරන බවද පොලිසිය සදහන් කරනවා.

අදාළ සැකකාර නිලධාරියා මෙම අත්බෝම්බය රැගෙන ආවේ කුමන අරමුණක් සදහා දැයි මෙතෙක් අනාවරණ නොවු බවද පොලිසිය සඳහන් කරනවා.

මේ අතර මෙම සිද්ධියෙන් තුවාල ලබා දියතලාව මුලික රෝහලට ඇතුලත් කර තිබු පුද්ගලයන්  19 දෙනාගෙන් 11 දෙනෙක් මේ වන විට ප්‍රතිකාර ලබා රෝහලෙන් පිටවි ගොස් ඇති බවත් සඳහන්.

යුධ හමුදා සාමාජිකයන් 5 දෙනෙක් ගුවන් හමුදා සාමාජිකයන් දෙදෙනෙක් හා සිවිල් පුද්ගලයෙක් තවදුරටත් ප්‍රතිකාර ලබන බවයි දියතලාව මූලික රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය රංජිත් අමරකෝන් පැවසුවේ.