Wednesday, January 1, 2025

General line - 0115112241

නඩුව නොගන්නැයි ගෝඨා ඉල්ලයි

අධිකරණ වාර්තාකරු




ඇවන්ට් ගාර්ඩ් ගණුදෙනුවට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරනයේ පවතින නඩු කටයුතු අත්හිටුවන ලෙසට ඉල්ලා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ අද (23) අභියාචනාධිකරණයේ ප්‍රතිශෝධන පෙත්සමක් ගොනු කළා.

මීට අමතරව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවට එරෙහිව හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ගොනු කළ මූලික විරෝධතා ප්‍රතික්ෂේප කිරීමට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය ලබා දුන් තීන්දුවක් අත්හිටුවන ලෙසට ද ගෝඨාභය රාජපක්ෂ මෙම ප්‍රතිශෝධන පෙත්සමෙන් ඉල්ලා සිටියා.

ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගමට අයුතු සහගත ලාභයක් ගෙන දෙන ආකාරයට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ සැලැස්වීමෙන් රජයට රුපියල් බිලියන 11.4 ක පාඩුවක් සිදු කිරීමෙන් දූෂණය නැමැති වරද සිදු කර ඇති බවට වන චෝදනා සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ ඇතුළු අට දෙනෙකුට එරෙහිව අල්ලස් කොමිෂන් සභාව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරනයේ නඩු පවරා තිබුණා. 

එහිදී  නඩුව සම්බන්ධයෙන් විත්ති පාර්ශ්වය විසින් ඉදිරිපත් කර ඇති මූලික විරෝධතා ප්‍රතික්ෂේප කොට නඩුව විභාගයට ගැනීමට ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරනය මීට පෙර නියෝග කර තිබුණා. 

අල්ලස් කොමිෂන් සභාවේ අධක්ෂක ජනරාල්වරයා මෙම නඩුව ගොනු කර ඇත්තේ අල්ලස් කොමිෂන් සභාවේ ලිඛිත අනුමැතියෙන් තොරව බවට විත්ති පාර්ශ්වය මූලික විරෝධතා ඉදිරිපත් කළා. 

වර්ෂ 2012 අගෝස්තු මස සිට 2015 ජනවාරි මස දක්වා කාලය තුළ ඇවන්ට් ගාර්ඩ් මැරිටයිම් සර්විසස් පුද්ගලික සමාගමට අයුතු සහගත ලාභයක් ගෙන දෙන ආකාරයට පාවෙන අවි ගබඩාවක් පවත්වාගෙන යාමට ඉඩ සැලැස්වීමෙන් අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ කියවෙන දූෂණය නැමැති වරද විත්තිකරුවන් සිදු කර ඇති බව අල්ලස් කොමිෂන් සභාව චෝදනා කර සිටියි.