Sunday, April 28, 2024

General line - 0115112241

"මගේ සහෝදර ශ්‍රී ලාංකිකයිනි" - ක්‍රිකට් තරු ජනතාව අමතයි

ඩිල්ෂාන් මඩවල




වර්ගවාදයෙන් හෝ වෛරයෙන් මිනිසත්කම යටපත් කිරීමට ඉඩ නොදෙන්නැයි කි‍්‍රකට් තරු කිහිපයක්ද මහජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

ශී‍්‍ර ලංකා ජාතික කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන කුමාර් සංගක්කාර සඳහන් කරන්නේ "මගේ සහෝදර ශ්‍රී ලාංකිකයිනි. මෑත ඉතිහාසයෙන් අපි පාඩම් ඉගෙන ගෙන නැද්ද?. මූලික මනුස්ස ගුණාංග..ආදරය අපේ මනසින්..අපේ හදවතින් තුරන් වෙලාද?. නැතිනම් සධාචාරාත්මක වශයෙන් අපි බිඳ වැටිලද?. ශ්‍රී ලාංකිකයින් හැටියට අපිට  විශේෂ වගකීමක් තියෙනවා අපේ අසල්වැසියාගේ ආරක්ෂාව තහවුරු කරන්න.. ආගම හෝ ජාතිය කුමක් හෝ වේවා අපි අපේ සහෝදරයින් ආරක්ෂා කරන අය. අපි සියලු දෙනා තුළ තියෙන්නේ එකම සිහින සහ බලාපොරොත්තුයි. මෙය වර්ගවාදයෙන් හෝ වෛරයෙන් වැහෙන්න දෙන්න එපා." යනුවෙනි.

සිය ටුවිටර් ගිණුමේ විශේෂ සටහනක් තබමින් හිටපු කි‍්‍රකට් නායකයෙකු වන මහේල ජයවර්ධන ද කියා සිටියේ ඉකුත් දිනවල සිදුවූ ප‍්‍රචණ්ඩකාරී සිද්ධීන් දැඩිව හෙලා දකින බවයි. ඊට සම්බන්ධ වූ සියලූ දෙනා කිසිඳු භේදයක් හෝ තරාතිරම නොබලා නීතිය හමුවට පැමිණවිය යුතු බව මහේල ජයවර්ධන පවසනවා. 

ශී‍්‍ර ලංකා කි‍්‍රකට් කණ්ඩායමේ හිටපු නායකයෙකු වන උපුල් තරංග පවසන්නේ මෙම අසීරු අවස්ථාවේ සියලූ දෙනා එකම ජාතියක් ලෙස එක්ව ප‍්‍රචණ්ඩත්වය අවසන් කළ යුතු බවයි. එකිනෙකා කෙරෙහි ආදරය සහ කරුණාව පතුරුවා හැරිය යුතු බවද ඔහු පවසනවා. 

සිය ටුවිටර් ගිණූමේ විශේෂ සටහනක් තබමින් ඇන්ජලෝ මැතිව්ස් පවසන්නේ ශී‍්‍ර ලංකා නාමයෙන් සැම විටම මනුෂ්‍යත්වයට ප‍්‍රමුඛත්වය දිය යුතු බවයි. වෛරය සහ ප‍්‍රචණ්ඩත්වය පතුරුවන්නන්ට එරෙහි විය යුතු බවද ඔහු අවධාරණය කරනවා.