Saturday, December 28, 2024

General line - 0115112241

උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම ගැන පොලිස්පති පැහැදිළි කරයි (UPDATE)

චම්ලි ඒකනායක/වසන්ත පිවිතුරු/දිනුක් හේවාවිතාරණ




රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ඩුබායි ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගැනීමේ පුවත සම්බන්ධයෙන් පොලිස්පති පූජිත් ජයසුන්දරගෙන් nethnews.lk කළ විමසීමකදී ඔහු සඳහන් කළේ නිල වශයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් තමන් වෙත තවමත් තොරතුරු ලැබී නොමැති බවයි.

----------------------------

උදයංග වීරතුංග අත්අඩංගුවට

(27-03-2018 11:31)

රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග ඩුබායි ගුවන් තොටුපොලේදී අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වෙනවා. අද (27) අලුයම ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා පළ වී ඇත්තේ.

අධිකරණයෙන් නිකුත් කළ වරෙන්තුවකට අනුව ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවයි රාජ්‍ය මාධ්‍ය වාර්තා සඳහන් කරන්නේ. ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය භාවිතය තහනම් කරමින් කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය නියෝගයක් නිකුත් කළේ, පසුගිය වසරේ ජුනි 30 වැනිදායි.

ශ්‍රී ලංකාවට යුක්ක්‍රේනයෙන් මිග් යානා මිලදී ගැනීමේදී ඊට මැදිහත් වී අයුතු ලාභයක් ලබා ගැනීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශණයක සැකකරුවෙකු ලෙසයි රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති උදයංග වීරතුංග නම්කර ඇත්තේ.

මෙයට පෙරද විදේශ ගමන් බලපත්‍රය තහනමට ලක්වී තිබියදී ඩුබායි සිට ඇමරිකාව බලා යාමට සිටියදී ඔහු ඩුබායි ගුවන්තොටුපොළේ දී එරට ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඒ වනවිට උදයංග වීරතුංග වෙනුවෙන් මූල්‍ය අපරාධ කොට්ඨාසයේ ඉල්ලීම මත අධිකරණය මගින් ජාත්‍යන්තර පොලීසිය වෙත නිල් නිවේදනයක් පමණක් නිකුත් කර තිබුණා.

ඒ අවස්ථාවේ උදයංග වීරතුංග මෙරටට ගෙන ඒම සඳහා පොලිස් නිලධාරීන් සහ විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිලධාරීන් පිරිසක් ඩුබායි වෙත ගියා.

එහිදී ඔහු අත්අඩංගුවට ගැනීමට හේතුවී තිබුණේ ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය මෙරට අධිකරණය මගින් තහනමට ලක්කිරිම හේතුවෙන්.

එම අවස්ථාවේ දී  ඩුබායි ආරක්ෂක අංශ ඔහුව මෙරටට භාර දීමට කටයුතු කළේ නැහැ.

ඉන් අනතුරුව මෙරටට පැමිණි මූල්‍ය අපරාධ කොට්ඨාස නිලධාරීන් කොටුව මහේස්ත්‍රාත්වරිය වෙත කරුණු වාර්තා කිරීමෙන් පසු උදයංග වීරතුංග වෙනුවෙන් රතු නිවේදනයක් නිකුත් කරනු ලැබුණා.

ඊ‍ට අමතරව උදයංග වීරතුංග මහා පරිමාණ මූල්‍ය වංචාකරුවකු ලෙස නම්කර ජාත්‍යන්තර අපරාධකරුවන්ගේ ජාලයට ඔහුගේ නම එකතු කරනු ලැබුවා.

මේ අතර උදයංග වීරතුංග අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස්පති පූජිත් ජයසුන්දරගේ උපදෙස් මත මෙරට ජාත්‍යන්තර පොලිස් ඒකකය ජාත්‍යන්තර පොලීසිය සමඟ එක්වී ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ගණනාවක්  සිදුවුණා.