Wednesday, January 1, 2025

General line - 0115112241

"තොරණ සහ දන්සල් තහනම් පුවත" මාධ්‍ය වාර්තා කිරීමේ වරදක්

සමන්ත කුමාර/ නිශාන් ද සිල්වා




වෙසක් සහ පොසොන් පොහොය දිනවල තොරණ ප‍්‍රදර්ශනය සහ දන්සැල් පැවැත්වීම සම්බන්ධයෙන් බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික‍්‍රම පෙරේරා කළ ඉල්ලීම සම්බන්ධයෙන් තවදුරටත් විවිධ අදහස් පළ වනවා. පූජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පැවසුවේ බෞද්ධ උත්සව ගණනාවකින් මේ වනවිට ඉතිරිව ඇත්තේ වෙසක් උත්සවය පමණක් බැවින් එය මතු පරපුරට දයාද කිරීම සදහා අඛණ්ඩව පවත්වාගෙන යායුතු බවයි. 

හිටපු බුද්ධ ශාසන අමාත්‍ය විජයදාස රාජපක්‍ෂ පෙන්වා දුන්නේ ඒ පිළිබද දෙයාකාරයකින් සිතා බැලිය යුතු බවයි.

"එතුමා බොහොම ශ්‍රද්ධා සම්පන්න බෞද්ධයෙක්. පොහොය දිනයේදී වඩාත් වැදගත් ප්‍රතිපත්ති පූජාවේ යෙදීම තමයි. නමුත් අපි අනාදිමත් කාලයක සිටම වෙසක් උත්සව පැවැත්වුවා, අනාගත පරපුරට එය දායාද කළා. මම හිතන්නේ නැහැ එතුමා මෙතන කිසිදු වැරදි අදහසකින් පැවසූ දෙයක් කියලා මෙය. අනෙක එතුමා බොහෝම නම්‍යශීලී ඇමතිවරයෙක්, එතුමා සමග සාකච්ඡා කරල මේ ගැටළුව විසඳගන්න පුළුවන් කියලයි මගේනම් අදහස" යැයි ඔහු පවසනවා.

කෙසේවෙතත් රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (30) පස්වරුවේ නිවේදනය කළේ තොරණ ප‍්‍රදර්ශනයට සහ දන්සැල් පැවැත්වීමට කිසිවෙකුට බාධාවක් නොමැති බවයි. වෙසක් සහ පොසොන් පුරපසලොස්වක පොහොය දිනයන්හිදී ආමිස පූජාවට වඩා ප‍්‍රතිපත්ති පූජාවට මුල්තැන දෙමින් කටයුතු කිරීමේ වැදගත්කම පමණක් බුද්ධශාසන අමාත්‍යවරයා පෙන්වා දී ඇති බවද එහි දැක්වෙනවා. 

වෙසක් සහ පොසොන් පොහොය දිනවල තොරණ ප‍්‍රදර්ශනය සහ දන්සැල් පැවැත්වීමෙන් වළකින්නේ නම් එය යහපත් බවට බුද්ධශාසන අමාත්‍යවරයා කළ ප‍්‍රකාශයක් මාධ්‍ය වැරදි ආකාරයෙන් වාර්තා කර ඇති බවද එම දෙපාර්තමේන්තුව පෙන්වා දුන්නා. බුද්ධශාසනයට අදාළ සියළු තීරණ අමාත්‍යාංශය විසින් ගනු ලබන්නේ බෞද්ධ උපදේශක සභාවෙහි නායක ස්වාමීන් වහන්සේගේ අනුශාසන සහ එකඟතාමත බවද එම නිවේදනයේ සදහන්.