Wednesday, January 1, 2025

General line - 0115112241

වාහන ලියාපදිංචිය පිටරට සමාගමකට! වසරක පාඩුව කෝටි 400 යි! රටේ ආරක්ෂාවටත් තර්ජනයක්

පසන් වික්‍රමතිලක




මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ වාහන ලියාපදිංචිය හා පැවරීම පෞද්ගලික ආයතනයකට ලබාදීමේ ‘ ඊ මොනිටරින් ’ ව්‍යාපෘතියේ ටෙන්ඩර් කටයුතු දූෂිත ආකාරයෙන් සිදුවන බවට වාර්තා පළ වනවා. ඒ සම්බන්ධයෙන් එම දෙපාර්තමේන්තුවේ සේවක පිරිසක් ජනාධිපතිවරයා වෙතද පැමිණිලි කර ඇති බවයි නෙත් නිවුස් වෙත වාර්තා වුණේ. මෙම ව්‍යාපෘතිය මගින් වසරකට රුපියල් කෝටි 400 ක් පමණ විදේශීය සමාගමකට ගෙවීමට සිදුවන බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

මහජන මුදල් ගසා කෑමට වඩා රටේ ආරක්‍ෂාවටද බරපතල තර්ජනයක් එල්ල විය හැකි බවද මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවක පිරිසක් ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙනවා. අදාළ ව්‍යාපෘතිය මගින් වාහන පිළිබද තොරතුරු පද්ධතියක් ස්ථාපිත කෙරෙන අතර එමගින්  ඕනෑම වාහනයක් ස්ථානගත කර ගැනීමට හැකියාව ලැබෙන බවයි එම සේවකයන් පෙන්වා දී ඇත්තේ. එම තොරතුරු රජයේ නොවන වෙනත් කණ්ඩායමක් අතට පත්වීම ආරක්‍ෂාවට තර්ජනයක් බවද ඔවුන් වැඩිදුරටත් පෙන්වා දෙනවා.

මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ ආදායම් ලැබිය හැකි කටයුතු ගණනාවක් දැනටමත් පෞද්ගලික අංශයට ලබාදී අවසන්. රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීම, අංක තහඩු නිකුත් කිරීම, දුම් පරීක්‍ෂණ ව්‍යාපාතිය ඉන් ප‍්‍රධානයි. රියදුරු බලපත‍්‍ර නිකුත් කිරීමට පමණක් එම දෙපාර්තමේන්තුව අදාළ පෞද්ගලික සමාගමට 2017 වසරේදි පමණක් ගෙවා ඇති මුදල රුපියල් මිලියන 1600ක්. එහෙත් රියදුරු බලපත‍්‍රයක් නිකුත් කිරීමට වැය වන්නේ රුපියල් සියයක පමණ මුදලක් බවයි ඔවුන් පෙන්වා දී ඇත්තේ.

අංක තහඩු නිකුත් කරන සමාගමට පසුගිය වසරේදි රුපියල් මිලියන 900 ක් ගෙවා තිබෙනවා. මෙම කටයුතු පෞද්ගලික අංශයේ සුළු සහායක් ලබාගෙන දෙපාර්තමේන්තුව මගින් සිදුකළේ නම් අතිවිශාල ධනයක් රජයට ඉතිිරිකර ගත හැකි බවයි මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවකයන් පිරිසක් වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.