Wednesday, January 1, 2025

General line - 0115112241

රාත්‍රි කාලයේදී කොළඹ උෂ්ණත්වය සෙල්සියස් අංශක 4 කින් ඉහලට

දිනුක් හේවාවිතාරණ




මේ දිනවල රට තුල උෂ්ණත්වය සාමාන්‍ය අගයට වඩා ඉහල අගයක් ගෙන ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරනවා. දහවල් කාලය තුල උපරිම උෂ්ණත්වය ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ආසන්න ලෙස සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 04 කින්ද, අනුරාධපුරය ප්‍රදේශයේ සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 3 කින්ද, මඩකලපුව, මහ-ඉලුප්පල්ලම සහ රත්මලාන ප්‍රදේශවල සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 2කින් පමණ උෂ්ණත්වය ඉහල ගොස් තිබෙනවා. මිට අමතරව දිවයිනේ සෙසු පලාත් වලද සාමාන්‍ය අගයට වඩා උෂ්ණත්වයේ අගය සම මට්ටමක හෝ ඊට වඩා මදක් වැඩි අගයකින් පවතින බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කලේ.

මිට අමතරව රාත්‍රී කාලය තුලද අවම උෂ්ණත්වය කොළඹ හා රත්මලාන ප්‍රදේශවල සාමානය අගයට වඩා සෙල්සියස් අංශක 4 කින්ද, ගාල්ල, හම්බන්තොට, පුත්තලම, කුරුණෑගල, වව්නියාව ප්‍රදේශවල සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 3 කින්ද, අනුරාධපුරය, මඩකලපුව, යාපනය, මන්නාරම, මහ-ඉලුප්පල්ලම හා රත්නපුර ප්‍රදේශවල සාමාන්‍ය අගයට වඩා සෙල්සියස් අංශක 02 කින්ද උෂ්ණත්වය ඉහල ගොස් ඇති බව වාර්තා වෙනවා.

මේ දිනවල කොළඹ දිස්ත්‍රික්කයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32 ක් වන අතර, අනුරාධපුරයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 36.2 ක් ලෙස වාර්තා වනවා. රත්මලාන ප්‍රදේශයේ උෂ්ණත්වය සෙල්සියස් අංශක 32.8ක් ලෙසයි වාර්තා වන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කරන්නේ ඉදිරියේදී නිරිතදිග මෝසම් වර්ෂාව බලාපොරොත්තු වන බවත් එතෙක් මෙම උෂ්ණ සහිත කාලගුණික තත්වය පවතිනු ඇති බවයි. 

පවතින උෂ්ණ සහිත කාලගුණික තත්වය නිසා හැකි තරම් ජලය පානය කරන ලෙස වෛද්‍යවරුන් මහජනතාවට දැනුම් දෙනවා. පිපාසය අවම කර ගැනීමට පැණි බිම භාවිතා නොකරන ලෙසත් රස්නයට ඔරොත්තු දෙන ආකාරයේ ඈදුම් ආදිය භාවිතා කරන මෙන් දන්වා සිටිනවා. 

එමෙන්ම පවතින උෂ්ණ සහිත කාලගුණ නිසා කුඩා දරුවන්ව හැකි සැම විටකම තෙත තුවායකින් ඔවුන්ගේ ශරීරය තෙත මාත්තු කිරීමෙන් ඔවුන්ට දැනෙන  අපහසුතාවය අවම කර ගත හැකි බව වෛද්‍යවරුන් සදහන් කරනවා.