Friday, September 20, 2024

General line - 0115112241

රජයේ පොරොන්දුවෙන් මොරගහකන්දේ විරෝධය අවසන් (UPDATE)




මොරගහකන්ද කළු ගඟ වාරි ව්‍යාපෘතිය හේතුවෙන් තමන්ට හිමිවිය යුතු වන්දි නොලැබුණු බව පවසමින් ආරම්භ කර තිබු මාරාන්තික උපවාසය අද (24) පස්වරුවේ අවසන් කෙරුණා.

ඒ මෙතෙක් තක්සේරු කළ වන්දි මුදලට අමතරව තවත් සියයට 50ක මුදලක් ලබාදිමට රජය එකඟතාව පළ කිරීම හේතුවෙන්.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්තී‍්‍ර රෝහිනි කවිරත්න මෙහිදී ප‍්‍රකාශ කළේ වන්දි ලබාදීමට අදාළ තීරණය ලිඛිතව ලබාදීමට පියවර ගන්නා බවයි.

ඉකුත් 20 වැනිදා සිට කි‍්‍රයාත්මක වූ ජනතා උද්ඝෝෂණයට සහ උපවාසයට සහාය පළ කරමින් අද (24) දහවල් ලග්ගල නගරයේ සියලු කඩසාප්පු වසා දැමුණා.

කෙසේ වෙතත් ඉල්ලීම්වලට ප‍්‍රතිචාර ලැබුණු බැවින් සිය කි‍්‍රයාමාර්ගය අත්හල බවයි ලග්ගල එක්සත් වෙළෙඳ සංගමයේ ලේකම් චමින්ද බුලත්ගේ පැවසුවේ.

…………………………………………………………..

මාරාන්තික උපවාසකරුවන් රෝහල්ගත කෙරේ

Jul 24, 2016 @ 11:52

මොරගහකන්ද කළුගඟ වාරි ව්‍යාපෘතිය හේතුවෙන් පීඩාවට පත්වූවන්ට නිසි පරිදි වන්දි මුදල් ලබා නොදීමට විරෝධය පළ කරමින් මාරාන්තික උපවාසයක නිරත වූ ප‍්‍රදේශවාසීන් තිදෙනෙකු අසාධ්‍ය තත්ත්වයෙන් මාතලේ මහරෝහලට ඇතුළත් කර තිබෙනවා.

නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ ඒ අතර කාන්තාවක්ද වන බවයි. ප‍්‍රදේශවාසීන් පිරිසක් ඉකුත් 20 වනදා සිට ලග්ගල ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලය ඉදිරිපිට සත්‍යග‍්‍රහයක නිරත වුණා.

ඒ, වන්දි ලබාදීමේදී සිදුවූ අක‍්‍රමිකතාවන්ට විරෝධය පළ කරමින්. ඊයේ (23) පෙරවරුවේ ප‍්‍රදේශවාසී කාන්තාවක් සහ පිරිමි පුද්ගලයන් දෙදෙනෙකු මාරාන්තික උපවාසයක් ආරම්භ කළා. කෙසේවෙතත් අද (24) පෙරවරුවේ අසාධ්‍ය තත්ත්වයෙන් ඔවුන් රෝහල්ගත කිරීමත් සමග ප‍්‍රදේශයේ උණුසුම්කාරී තත්ත්වයක් ඇති වූ බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ. ප‍්‍රදේශයේ වෙළදසැල් සියල්ලද වසා දමා තිබෙනවා.