Sunday, May 5, 2024

General line - 0115112241

ගාල්ලේ කිමිදෙමින් සිටි තරුණයින් දෙදෙනාව බය කළ කිලෝ 40ක් බරැති පිළිමය ගොඩ ගනී (PHOTOS)

රවීන්ද්‍ර චන්ද්‍රලාල්




ගාල්ල කොටුව ආසන්න මුහුදේ ගිලී තිබීයදී සොයාගත් කිලෝග්‍රෑම් 40 කටත් වැඩි බරැති පිළිමය පිළිබඳව පුරා විද්‍යා අංශ පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබෙනවා.

ගාල්ල කොටුව ආසන්න මුහුදේ ගල්මල් නැරඹීමට නිතර පැමිණෙන කරාපිටිය ජස්ටින්කන්ද ප්‍රදේශයේ පදිංචි කමල් නමැති තරුණයකු සමග පැමිණි ඔහුගේ මිතුරකු කිමිදෙමින් සිටියදී ඊයේ (15) මෙම පිළිමය දැක තිබුණා. 

මෙම පිළිමය මුහුදු වෙරළේ සිට අඩි 150ක් පමණ දුරකින් පැහැදිලි මුහුදේ මතුපිට සිට අඩි 5-10 පමණ ගැඹුරකින්  තිබු බවයි ඔවුන් පවසා ඇත්තේ.

පිළිමය දුටු වහාම තමන්ට බයක් දැනුනු බවත් ගොඩබිමට ගොස් ටික වෙලාවකට පසු ඇතිවූ කුතුහලය මත නැවතත් සිය මිතුරාද සමග කිමිදී පිළිමය ගොඩට ගත් බවත් කමල් පොලිසියට පවසා තිබෙනවා.

දියේ සිට මුහුදු වෙරළට ගෙන ඒමේදී එතරම් බරක් ජලයේදී නොදැනුනත් ජලයෙන් මතුපිටට ගැනීමට තමාට සහ මිතුරාට දැඩි අපහසු වූ බවත් සඳහන් කර තිබෙනවා.

මුහුදු වෙරළේ සිටම 119 පොලිස් හදිසි ඇමතුම් අංකයට ඇමතුමක් ගත්තත් එයට ප්‍රතිචාරයක් නොලද හෙයින් පිළිමය අමාරුවෙන් ගාල්ල කොටුව තුළ පිහිටි සුධර්මාලය පන්සලට ගෙනවිත් එහි නායක හිමියන්ට භාර කර පසුව පොලිසියට සහ පුරාවිද්‍යා අංශ දැනුවත් කරන්නට පියවර ගත් බවද ඔවුන් සඳහන් කරනවා.