Friday, September 20, 2024

General line - 0115112241

කෘත්‍යාධිකාරී මණ්ඩලයේදී රවීට විරෝධය - සිරිකොත අවට පොලිස් ආරක්ෂාවත්

තරංග රුක්ෂාන් ජයසේකර/ලහිරු කපුගේ




එක්සත් ජාතික පක්ෂයේ විශේෂ කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමක් අද (26) පෙරවරුවේ සිරිකොත පක්ෂ මූලස්ථානයේ දී ආරම්භ වුණා.

ඒ, පක්ෂ නායක අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන්.

අද දවසේ මෙම කෘත්‍යාධිකාරී මණ්ඩල රැස්වීමේ ප‍්‍රධාන අරමුණක් වන්නේ පක්ෂයේ නව නිලධාරී මණ්ඩලය තෝරා ගැනීමයි. මේ වනවිට සිරිකොත මූලස්ථානයේ රැඳී සිටින නෙත් නිවුස් මාණ්ඩලික වාර්තාකරු ලහිරු කපුගේ සඳහන් කළේ අදාළ පරිශ්‍රය තුළ විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්ද ක්‍රියාත්මක කර ඇති බවයි.  

මේ අතර රවී කරුණානායක මන්ත‍්‍රීවරයාගේ පත්කිරීමට විරෝධය පළ කරමින් හිටපු අමාත්‍ය ජෝශප් මයිකල් පෙරේරා මීට නොබෝ වේලාවකට පෙර කෘත්‍යාධිකාරී මණ්ඩලයෙන් ඉවත්ව ගොස් තිබෙනවා.

මාධ්‍යවේදීන්ට අදහස් දක්වමින් ඔහු ප‍්‍රකාශ කර ඇත්තේ තමා පමණක් රවී කරුණානායක මන්ත‍්‍රීවරයාගේ පත්කිරීමට විරුද්ධ වූ බවයි. සෙසු පත් කිරීම් කෘත්‍යාධිකාරී මණ්ඩලය අනුමත කළ බවද මෙහිදී ප‍්‍රකාශ කෙරුණා.

පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් රවී කරුණානායක මන්ත‍්‍රීවරයාට තවදුරටත් උපසභාපති ධුරය ලබාදීමටයි ඊයේ (25) තීරණය කළේ. 

පක්ෂයේ දේශපාලන මණ්ඩලය විසින් මහ ලේකම් ධූරයට අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් ඊයේ නම් කෙරුණා. ජාතික සංවිධායක ධූරයට අමාත්‍ය නවීන් දිසානායක හා සභාපතිරවයා ලෙස අමාත්‍ය කබීර් හෂීම් නම් කළා.

භාණ්ඩාගාරික ධුරයට නම් කළේ නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වායි.