Saturday, September 21, 2024

General line - 0115112241

ඇමතිකමින් ඉවත්වූ හිටපු කැබිනට් අමාත්‍යවරයෙකුටත් ඇරයුම්.. ඇමති ධූරයක් හිමිවන ලකුණු !

හේමන්ත කහවලගේ




වත්මන් ආණ්ඩුවේ තවත් කැබිනට් සංශෝධනයක් අද (01) සිදු කිරිමට නියමිතයි. ඒ, පෙරවරු 10ට ජනාධිපති ලේකම් කාර්යාලයේදීයී. තමන්ට පෙරවරු 09.30 වනවිට පැමිණෙන්නැයි දන්වා ඇති බව අමාත්‍ය මනෝ ගනේෂන් සිය නිල ටුවිටර් ගිණුමේ සටහන් කර තිබුණා.

අමාත්‍ය සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ඒ සඳහා සහභාගී වන ලෙස ආරාධනා කර ඇතත් නියෝජ්‍ය අමාත්‍යවරුන්ට එවැනි ආරාධනයක් සිදු කර නැහැ. දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ තනතුරු වෙනස් වන හා අලූතින් පත්වන නියෝජ්‍ය අමාත්‍යවරුන් පිළිබඳ තීරණය හෙට (02) දිනයේ ගනු ඇති බවයි.

මෙම කැබිනට් සංශෝධනයේදී විද්‍යානුකූල පදනමක් යටතේ විෂය පථයන් බෙදා දෙනු ඇති බවටයි පැවසෙන්නේ. එකිනෙකට වෙනස් විෂය පථයන් වෙන් කර අමාත්‍යධූර ගණනාවක සංශෝධනයන් සිදු කරනු ඇති බවට වාර්තා පළ වනවා. අධ්‍යාපන අමාත්‍යාංශය යටතේ ඇති සංස්කෘතික විෂය වෙනස් කිරීමත්, උසස් අධ්‍යාපන සහ මහා මාර්ග යන විෂය පථයන් වෙන් කිරීමත් ඒ අතරට අයත්.

සමෘද්ධි සහ කම්කරු යන අමාත්‍යාංශ එක්සත් ජාතික පක්ෂයට හිමිවනු ඇති බව දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළා. ඉවත් වූ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ අමාත්‍යවරුන් 06දෙනා හෙබවූ සෙසු විෂය පථයන් අනෙකුත් අමාත්‍යාංශ හා එක් කරනු ඇති බවයි වාර්තා වන්නේ. එක්සත් ජාතික පක්ෂයේ අමාත්‍යවරුන් දැනට දරණ අමාත්‍යධූර වෙනස් නොවනු ඇති බවද සඳහන්. අලූතින් කැබිනට් අමාත්‍යවරුන් පත් නොකිරීමටද තීරණය කර තිබෙනවා.

මේ අතර හිටපු අමාත්‍ය විජේදාස රාජපක්ෂටද ජනාධිපති ලේකම් කාර්යාලයට පැමිණෙන ලෙසට ආරාධනා කර ඇතැයි සඳහන්. බොහෝ දුරට ඔහුට උසස් අධ්‍යාපන අමාත්‍යාංශය හිමිවනු ඇති බවටයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

ඉකුත් පළාත් පාලන මැතිවරණයෙන් පසුව අමාත්‍ය මණ්ඩල සංශෝධයක් සිදු කරනු ඇතැයි වාර්තා පළවුවද එය දිනෙන් දින කල් ගියා. සමස්ථ ඇමති මණ්ඩලයම අලූත් ඇමති මණ්ඩලයක් ලෙස මෙහිදී දිවුරුම් දෙනු ඇති බව දැනටමත් ප‍්‍රකාශ වී තිබෙනවා.