Saturday, September 21, 2024

General line - 0115112241

උදයංග වීරතුංගගෙන් ජාත්‍යන්තර පොලීසියට ලිපියක්

වසන්ත පිවිතුරු




තමන්ට එරෙහිව නිකුත් කර ඇති ජාත්‍යන්තර රතු වරෙන්තුව ඉවත් කර ගන්නා ලෙස රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංග ජාත්‍යන්තර පොලීසියෙන් ඉල්ලීමක් කර ඇති බව මාධ්‍ය වාර්තා පල වී තිබෙනවා. ජාත්‍යන්තර පොලීසිය වෙත ඔහු ලිඛිත ඉල්ලීමක් කර ඇති බවයි සඳහන් වන්නේ.

මිග් 27 වර්ගයේ ගුවන් යානා මිලදී ගැනීමේ දී මූල්‍ය වංචාවක් සිදුව කර ඇති බවටයි රුසියාවේ හිටපු තානාපති උදයංග වීරතුංගට එරෙහිව චෝදනා එල්ලවී ඇත්තේ. ඒ සම්බන්ධයෙන් මූල්‍ය අපරාධ කොට්ඨාශය මගින් සිදුකරන පරික්ෂණයක් සඳහා පෙනී සිටින ලෙස උදයංග වීරතුංගට දැනුම්දී තිබුණත් ඒ සඳහා ඔහු අවස්ථා කිහිපයකදී පෙනී සිටියේ නැහැ.

ඉන් අනතුරුව කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා විසින් ඔහුය එරෙහිව විවෘත වරෙන්තු නිකුත් කර තිබුණා. පසුවයි ශ්‍රී ලංකා ජාත්‍යන්තර පොලීස් ඒකකය විසින් රුසියාවේ හිටපු තානාපතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කරන ලෙස ඉල්ලීමක් කළා.

ඒ අනුව උදයංග වීරතුංගට ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් වී ඇති අතර ඔහු ඩුබායි ගුවන් තොටුපොලේ දී පසුගියදා අත්අඩංගුවට ගනු ලැබුවා. නමුත් අත්අඩංගුවට පත්වූ උදයංග වීරතුංගව මෙතෙක් මෙරටට ගෙන්වා ගැනීමට නොහැකි වී ඇති අතර ඒ සඳහා විවිධ හේතු පල වුණා.

කෙසේ වෙතත් ඔහු විසින් ජාත්‍යන්තර පොලීසිය වෙත යොමු කර ඇති ලිඛිත ඉල්ලීම මගින් පෙන්වා දී ඇත්තේ තමන් කිසිම අවස්ථාවක රුසියාවේ තානාපතිවරයා ලෙස කටයුතු කළ අවස්ථාවේ මූල්‍ය වංචාවකට සම්බන්ධ නොවු බවටයි මාධ්‍ය වාර්තා සඳහන් කර ඇත්තේ.

එම නිසා තමාට එරෙහි ජාත්‍යන්තර රතු අත්හිටුවන ලෙසයි ඔහු ඉල්ලා ඇත්තේ.