Saturday, September 21, 2024

General line - 0115112241

සිනමාවට ජීවය දුන් ලෙස්ටර්ගේ ගෙදර ජංගම දුරකථනයකුත් අතුරුදන් (UPDATE)

තරංග රුක්ෂාන් ජයසේකර




අභාවප‍්‍රාප්ත ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතාගේ නිවසේ තිබූ තවත් භාණ්ඩයක් අතුරුදන්ව තිබෙනවා. පොලිස් වාර්තාවලට අනුව මෙලෙස අතුරුදන්ව ඇත්තේ රුපියල් ලක්ෂයක් පමණ වටිනා ඇපල් වර්ගයේ ජංගම දුරකථනයක්.

අවමංගල්‍යය කටයුතු සිදුවූ ඊයේ (03) දිනයේයි මෙම දුරකථනයද අතුරුදන්ව ඇත්තේ. ඒ මහතාගේ නිවසේ තිබූ රණමයුර සම්මානයට හිමි පදක්කමද අතුරුදන්ව තිබුණා. අදාළ සිද්ධීන් සම්බන්ධයෙන් ඒ මහතාගේ ඥාති දියණියක් බම්බලපිටිය පොලිස් ස්ථානයට පැමිණිල්ලක්ද කර තිබෙනවා.

සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරික්ෂණ කි‍්‍රයාත්මක අතර සැකකරුවන් කිසිවෙකුත් මෙතෙක් අත්අඩංගුවට ගෙන නැහැ.

මේ අතර රණමයුර සම්මානයට හිමි පදක්කම අතුරුදන්වීම සම්බන්ධයෙන් විධිමත් හා කඩිනම් පරික්ෂණයක් සිදු කරන ලෙස නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර උපදෙස් ලබා දී තිබෙනවා.

පරික්ෂණ කි‍්‍රයාත්මක වන්නේ නියෝජ්‍ය පොලිස්පතිවරයෙක් යටතේයි. අංශ කිහිපයක් ඔස්සේ පරික්ෂණ කටයුතු සිදුවන බැවින් කඩිනමින් සැකකරුවන් නීතිය හමුවට ගෙන ඒමට හැකිවනු ඇති බවයි අමාතයවරයා විශ්වසාසය පළ කළේ.

1965දී ගම්පෙරළිය චිත‍්‍රපටය වෙනුවෙන් හිමිවූ රණමයුර සම්මානයට හිමි පදක්කම රටක් ලෙස ගරු කළ යුතු සම්මානයක්.

එබැවින් කිසියම් අයෙක් හිතාමතා සොරකම් කළේනම් එය සොරකමකට වඩා මානව ගුණධර්ම වලට කල අවමානයක් බවයි අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර පවසන්නේ.  

--------------------

ලෙස්ටර්ගේ රණ මයුර සම්මානය සොයන පරීක්ෂණ පුළුල් වෙයි

(03-05-2018 11:32)

 

හෙළයේ මහා සිනමාකරු වන ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාගේ ආදාහනය සිදුවූ ඊයේ (02) දිනයේදී ඒ මහතාට ඉන්දියාවෙන් ප්‍රදානය කර තිබූ "රණ මයුර" සම්මානය අතුරදහන් වූ බව වාර්තා වීමෙන් තමන් ඉතා කම්පාවට හා සංවේගයට පත්වූ බව රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ සහ නීතය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජීත් මද්දුමබණ්ඩාර පවසනවා.

"ශ්‍රී ලංකීය සිනමාවේ දේශීය සලකුණ වූ ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතා විසින් නිර්මාණය කරන ලද ගම්පෙරලිය සිනමා කෘතියට 1965 වර්ෂයේදී මෙම රණමයුර සම්මානය හිමිවුණා.මෙරට සිනමාවට මේසා විශාල මෙහෙවරක් ඉටුකල ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිස් මහතාට හිමිවූ මෙම ජාත්‍යන්තර සම්මානය හුදෙක් ඒ මහතා ලද සම්මානයකට වඩා රටක් ලෙස අප ලද ගරු සම්මානයක් ලෙස හැඳින්වීම යුක්ති සහගත වේ." යනුවෙන් ද අමාත්‍යවරයා සඳහන් කරනවා.

කිසියම් පුද්ගලයෙකු හෝ කණ්ඩායමක් විසින් සිතාමතා මෙම සම්මානය සොරා ගත්තා නම් එය සොරකමකට වඩා මානව ගුණධර්මවලට කළ අවමානයක් ලෙස සැලකිය හැකි බවත් අතීශය කෞතුක වටිනාකමකින් යුතු මෙම සම්මානය අතුරුදහන් වීම පිළිබඳව ඊයේ දිනයේදී තමන්ට දැනගන්නට ලැබුන අතර මේ සම්බන්ධයෙන් විදිමත් හා කඩිනම් පරීක්ෂණයක් සිදුකිරීමට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු යටතේ පරීක්ෂණ සිදුකිරීමට අවශ්‍ය උපදෙස් ලබා දුන් බවද අමාත්‍යවරයා පවසනවා.

පැති ගණනාවක් ඔස්සේ මෙම පරීක්ෂණ සිදුවන හෙයින් කෙටි කලක් තුළ අදාල සිදුවීමට සම්බන්ධ පුද්ගලයින් නීතිය ඉදිරියට ගෙන ඒමට හැකිවනු ඇතැයි තමන් විශ්වාස කරන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරනවා.

(සබැඳි පුවත් මෙතැනින්)

රණමයුර පදක්කම සොයා පොලීස් පරික්ෂණ ඇරඹේ (UPDATE)