Saturday, September 21, 2024

General line - 0115112241

එජාප ප්‍රතිසංවිධානය කරන්න යන්නේ මෙහෙමයි - සියලු යෝජනා මෙන්න




එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිසංවිධානය කටයුතු පිළිබඳව රුවන් විජයවර්ධන අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පුළුල්ව සාකච්ඡා කිරීමෙන් අනතුරුව සියළු දෙනාගේ පොදු එකඟතාවයට අනුව පහත දැක්වෙන යෝජනා ඉදිරිපත් වී තිබෙනවා.

එහිදී යෝජනා ගණනාවක් ඉදිරිපත් වී ඇති අතර පක්ෂ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රිකරණයට ලක් කිරීම, ප්‍රධාන විධායක නිලධාරී වැනි තනතුරක් ඇති කිරීම සහ මන්ත්‍රි ධූරයක් නොමැති ආසන සංවිධායකවරුන්ට සහ කොට්ඨාශ හා දිස්ත්‍රික් කළමණාකරුවන්ට රජ්‍ය ආයතනවල සභාපති, කළමණාකරණ අධ්‍යක්ෂ හෝ උපදේශක ආදී තනතුරු වැටුප් හා වාහන පහසුකම් සහිතව ලබාදීම ආදියද යෝජනා කර තිබෙනවා.

සියලු යෝජනා පහත පරිදි වේ,

01.     පක්ෂ ව්‍යවස්ථාව ප්‍රජාතන්ත්‍රිකරණයට ලක් කළ යුතු බවට එකඟ වේ.
1.1     ජනාධිපතිවරණයකට හෝ මහ මැතිවරණයකට පසුව පක්ෂ නායකත්වය ඡන්දයකට යොමු කිරීමට ව්‍යවස්ථාව තුළ ඉඩකඩ තිබිය යුතුයි.
1.2    එම ඡන්ද විමසීමේදී කෘත්‍යාධිකාරී මණ්ඩල සාමාජිකයින් සහ පාර්ලිමේන්තු කණ්ඩායමේ සාමාජිකයින්ට ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය ලබාදිය යුතුයි.

02.    පක්ෂයේ ප්‍රධාන තනතුරු සියල්ලම ( සභාපති, මහලේකම්, ජාතික සංවිධායක ඇතුළුව) වඩා ක්‍රියාශීලී නව නායකයින්ට ලබාදීම.
2.1    පක්ෂය තුල ප්‍රබල සංවිධානයක් විය යුතු  බවට පවතින ජන මතයට ගරු කරමින් පක්ෂයේ මීළඟ නායකත්වය පත් කිරීම.
2.2    රට පුරා ගොස් පක්ෂයේ සංවිධාන ගොඩනැඟීමට නියෝජය  නායකතුමාට පක්ෂ ව්‍යවස්ථාවෙන් බලතල පවරාදීම.
2.3    වඩා ජන ආකර්ෂණය සහිත උප නායකවරු කිහිපදෙනෙක් පත් කිරීම.
2.4    පක්ෂයේ මහලේකම් ධූරය සඳහා පක්ෂයේ ඕනෑම අයෙකුට සෘජුව සම්බන්ධීකරණය විය හැකි පරිදි ඉදිරි මැතිවරණයකදී ජාතික ලැයිස්තුවෙන් පත්වීමේ පදනම මත දැනට පාර්ලිමේන්තුව නියෝජනය කරන මන්ත්‍රිවරයෙකු පත් කිරීම.
2.5    පක්ෂයේ භාණ්ඩාගාරික තනතුර සඳහා මූල්‍ය පාලනය පිළිබඳ අවබෝධයක් ඇති ගණකාධිකාරීවරයෙකු පත්කිරීම.

03.    පක්ෂයේ ප්‍රධාන තනතුරුවලට අමතරව පක්ෂ ව්‍යහුහය ප්‍රතිසංවිධානය කොට නව තනතුරු ඇතිකර එම තනතුරු සඳහා ප්‍රායෝගිකව සමස්ථ රට තුලම වැඩකල හැකි පරිදි දක්ෂ ක්‍රියාශීලී නව නායකත්වයන් පත්කිරීම.
3.1    පක්ෂයේ මතය සන්නිවේදනය හා ප්‍රවර්ධනය සඳහා දක්ෂ ක්‍රියාශීලී නව නායකත්වයක්.
3.2    මාධ්‍ය ක්ෂේත්‍රයේ වඩා ආකර්ශණීය මට්ටමකට ගොඩනැඟිය හැකි දක්ෂ ක්‍රියාශීලී නව නායකත්වයක්.
3.3    සමාජ මාධ්‍යක ජාලා මෙහෙයවිය හැකි අවම 50කට ආසන්න කණ්ඩායමක් සහිත දක්ෂ ක්‍රියාශීලී නව නායකත්වයක්.
3.4    පක්ෂ සාමාජික ප්‍රවර්ධනය සඳහා දක්ෂ ක්‍රියාශීලී නව නායකත්වයක්.
3.5    පක්ෂයට අනුබද්ධිත වෙනත් සංවිධාන ප්‍රවර්ධනය සඳහා දක්ෂ ක්‍රියාශීලී නව නායකත්වයක්.
3.6    වෙනත් සිවිල් සංවිධාන (ස්වේච්ඡා සංවිධාන) ප්‍රවර්ධනය කොට පක්ෂය වටා එකතු කරගැනීමට දක්ෂ ක්‍රියාශීලී නව නායකත්වයක්.
3.7    පක්ෂයේ ජාත්‍යන්තර සබඳතා ශක්තිමත් කිරීම සඳහා දක්ෂ ක්‍රියාශීලී නව නායකත්වයක්.
3.8    පර්යේෂණ හා සංවර්ධන කටයුතු සඳහා දක්ෂ ක්‍රියාශීලී නව නායකත්වයක් සහිත අංශයක් පිහිටුවීම.
3.9    පූර්ණකාලීනව පක්ෂ මූලස්ථානය තුල රැඳී සිටිමින් බිම් මට්ටමේ පක්ෂ නියෝජිතයින් දක්වා සම්බන්ධීකරණය විය හැකි තනතුරක් ඇති කිරීම.
         උදා: ප්‍රධාන විධායක නිළධාරී (CEO)

මෙම තනතුර සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රිවරයෙකු නොවන අයකු පත් කිරීම සුදුසු යැයි යෝජනා කරන අතර එම පුද්ගලයාට සෘජුවම පක්ෂ නායකතුමා ඇතුළු පක්ෂ සංවිධානයේ ප්‍රධාන තනතුරු හොබවන නිළධාරීන් හා සම්බන්ධ වී පක්ෂයේ අනිකුත් නියෝජිතයන්ට මතුවන ගැටළුවලදී කඩිනම් විසඳුම් ලබාදිය හැකි පරිදි බලතල ලබාදිය යුතුය.

(සෑම තනතුරක් සඳහාම පක්ෂ යාන්ත්‍රණය හා පක්ෂ ප්‍රතිපත්ති රාමුව තුල පිහිටා ස්වාධීනව තීරණ ගෙන ක්‍රියාත්මක වීමේ බලය ලබාදිය යුතුයි)

04.    පක්ෂයේ ග්‍රාමීය සංවිධානවල දැනට පවතින නම් වෙනස් කොට වඩා ආකර්ශණීය මගකට යොමු කිරීම.
         උදා:  ලක් වනිතා / යොවුන් සංවිධාන

05.    පක්ෂය තුල ආගමික පදනම ශක්තිමත් කිරීමට කටයුතු කිරීම.
5.1    සිංහල බෞද්ධ පදනම පක්ෂය තුල ශක්තිමත් කිරීම සඳහා සිංහල බෞද්ධ පදනමක් ඇති ශක්තිමත් නායකත්වයක් ඇති කිරීම.

06.    මන්ත්‍රි ධූරයක් නොමැති ආසන සංවිධායකවරුන්ට සහ කොට්ඨාශ හා දිස්ත්‍රික් කළමණාකරුවන්ට රජ්‍ය ආයතනවල සභාපති, කළමණාකරණ අධ්‍යක්ෂ හෝ උපදේශක ආදී තනතුරු ලබාදීම (වැටුප් හා වාහන පහසුකම් සහිතව)

07.    ආසන සංවිධායකවරුන් නොවන පළාත් සභා මන්ත්‍රිවරුන්ට ඒ ඒ දිස්ත්‍රික්කවල ආසන සංවිධායකවරුන්ගේ එකඟතාවය හා නායකත්වය මත පක්ෂයේ කටයුතු සිදුකිරීමට යම් නිශ්චිත කොට්ඨාශයක්, ප්‍රදේශයක් ලබාදීමට කටයුතු කිරීම.

08.    සිරිකොත කාර්ය මණ්ඩලය පූර්ණ ප්‍රතිසංවිධානයකට ලක්කිරීම.

09.     පක්ෂ අරමුදල ශක්තිමත් කිරීමට කටයුතු කිරීම.

පසුගිය පළාත් පාලන මැතිවරණ ප්‍රතිඵලයත් සමඟ, වත්මන් දේශපාලන පරිසරය තුල ඇති වී ඇති අභියෝගවලට සාර්ථකව මුහුණ දෙමින් එක්සත් ජාතික පක්ෂයේ ඡන්ද පදනම ආරක්ෂා කර ගැනීමට හා වර්ධනය කර ගැනීමට ඉහත සඳහන් යෝජනා  ඇතුළු අවශ්‍ය වෙනස්කම් කඩිනමින් සිදුකල යුතු බව යෝජනා කර සිටිමු.
එ.ජා.ප. ප්‍රතිසංවිධාන කමිටුව.