Tuesday, April 30, 2024

General line - 0115112241

රජ මගුල අද

පවිත්‍රා මදුහර්ෂණි - විදෙස් මාධ්‍ය ඇසුරෙන්




ලෝකයේම අවධානය දිනා ගත් බි‍්‍රතාන්‍යය රජ පවුලේ තවත් විවාහ මංගල්‍යයක් අද පැවැත්වෙනවා. ඒ බි‍්‍රතාන්‍යයේ හැරී කුමරු සහ අමෙරිකාවේ මෙගන් මාකල් අතරයි. 

ඩයනා කුමරියගේ සහ චාල්ස් කුමරුගේ දෙවන පුත‍්‍රයා වන හෙන්රි චාල්ස් ඇල්බර්ට් ඩේවිඩ් නොහොත් හැරී, මේවනවිට 33වන වියෙහි පසුවනවා. ඔහු සමග අතිනත ගන්නා මෙගන් මාකල් 36 වන වියේ පසුවන්නියක්. ඇය රංගන ශිල්පිනියක ලෙසද ප‍්‍රකටව සිටිනවා. 
මෙම දෙපළගේ විවාහ මංගල්‍යය අද පැවැත්වෙන්නේ බි‍්‍රතාන්‍ය වේලාවෙන් දහවල් 12ට පමණයි. බි‍්‍රතාන්‍යයේ වින්ඞ්සර් නුවර පිහිටි සාන්ත ජෝර්ජ් චැපල් දේවස්ථානය ඒ සදහා සූදානම් කර තිබෙනවා. දෙවන එලිසබෙත් රැජිණගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්වෙන මෙම විවාහ මංගල්‍ය සඳහා ආරාධිතයින් 800 ක් පමණ සහභාගී වීමට නියමිතයි. විවාහ මංගල්‍යය සජීවි ලෙස ලොව පුරා විකාශය කිරීමටද සූදානම් කර තිබෙනවා.

මේ අතර මෙම රාජකීය මංගල්‍යය සම්බන්ධයෙන් මේවනවිට විවිධ නිල නොවන වාර්තා ද පළවෙමින් තිබෙන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ. මෙගන් මාකල් මීට පෙර විවාහ වී සිටි කාන්තාවක් බවත් ඒ අනුව බි‍්‍රතාන්‍ය රජ පවුලේ කුමරෙකු, විවාහ වූ කාන්තාවක් සමග අතිනත ගන්නා පළමු අවස්ථාව මෙය බවයි. 1937 වසරින් පසුව බි‍්‍රතාන්‍ය රජ පුවලේ රාජකීය කුමරෙකු අමෙරිකානු කාන්තාවක් සමග විවාහ වන පළමු අවස්ථාවද මෙය බවටයි වාර්තා වන්නේ.