Friday, September 20, 2024

General line - 0115112241

කැබිතිගොල්ලෑවේ අජාසත්ත පුතෙකු රිමාන්ඩ්




පොලිස් කොස්තාපල්වරයෙකු වූ සිය පියා පහරදී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණු පුතෙකු ලබන 4 වෙනිදා දක්වා අද (25) රක්ෂිත බන්ධනාගාරගත කෙරුණා.

ඒ, කැබිතිගොල්ලෑව මහේස්ත‍්‍රාත්වරයාගේ නියෝගයකට අනුවයි. කොස්තාපල්වරයාගේ මරණය සම්බන්ධයෙන් අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා විසින් සිදුකළ පශ්චාත් මරණ පරීක්ෂණයේ වාර්තාව සහ පොලිසිය සිදුකළ විමර්ශනවල ප‍්‍රගතිය දැක්වෙන වාර්තාවක් ද එදිනට අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසයි මහේස්ත‍්‍රාත්වරයා නියෝග කළේ.

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කෙරුණේ බෝගහවැව ප‍්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි ශිරන්ත ප‍්‍රභාත් දිසානායක නමැත්තෙක්. ඔහු පවුලේ වැඩිමහල් පුත‍්‍රයා වනවා. සැකකරු අධිකරණය හමුවට ඉදිරිපත් කරමින් කැබිතිගොල්ලෑව පොලිසිය සඳහන් කළේ ඝාතනයට ලක්වූ කොස්තාපල්වරයා බීමතින් නිවසට පැමිණ සිය බිරිඳ සමග ගැටුම් ඇතිකරගෙන ඇති බවයි.

ඇතැම් අවස්ථාවන්වලදී කොස්තාපල්වරයා බිරිඳට පහර දී ඇති බවද විමර්ශනවලදී අනාවරණ වී තිබෙනවා. ඉකුත් 22 වෙනිදා ද කොස්තාපල්වරයා බීමතින් නිවසට පැමිණ පොල්ලකින් තමන්ට පහරදීමට උත්සහ කළ බව කොස්තාපල්වරයාගේ බිරිඳ අධිකරණය හමුවේ කියා සිටියා. එම අවස්ථාවේදී පුත‍්‍රයා පියාට පහරදී ඇති බවයි විමර්ශනවලදී අනාවරණ වුණේ.