Wednesday, May 15, 2024

General line - 0115112241

ට්‍රැක්ටරය පෙරළී සිසුන් 07ක් රෝහලේ (PHOTOS)

සමන් විජය බණ්ඩාර




හෙම්මාතගම, නගරගිරි මහා විද්‍යාලයේ සිසුන් පිරිසක් ගමන්ගත් ට‍්‍රැක්ටරයක් පෙරළීයාමෙන් සිසුන් හත් දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබෙනවා.

උසස් පෙළ තාක්‍ෂණ අංශයේ ඉගෙනුම ලබන සිසුන් දස දෙනෙකු එම ට‍්‍රැක්ටරයේ නැගී අළුදෙණිය ප‍්‍රදේශයේ ගරාජයකට යමින් සිටියදී මෙම අනතුර සිදුව ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු පැවසුවේ.

වංගුවක් සහිත ස්ථානයකදී සිසුන් ගමන්ගත් ට‍්‍රැක්ටරයේ ටේ‍්‍රලරය සහ එන්ජිම සම්බන්ධ කොටස ගැලවී යාමෙන් අනතුර සිදුව ඇති බවයි වාර්තා වන්නේ.

අනතුරෙන් තුවාල ලැබූ සිසුන් හත් දෙනා හෙම්මාතගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ඉන් සිසුන් හතර දෙනෙකු වැඩිදුර ප‍්‍රතිකාර සඳහා මාවනැල්ල මහරෝහලට මාරුකර යවා තිබෙනවා.

සිද්ධිය වන අවස්ථාවේ තාක්‍ෂණ විෂයභාර ගුරුවරයාද සිය මෝටර් රථයෙන් අදාළ ට‍්‍රැක්ටරය පිටුපසින් ගමන් කර ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ.