නොරොච්චෝල බලාගාරයෙන් පිටවන අළු හේතුවෙන් පරිසරයට සිදුවෙතැයි පවසන හානිය වලක්වා ගැනිම සඳහා ඉදිකිරීමට යෝජිත සුළං බාධක පවුරේ ඉදිකිරීම් කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (22) විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය සහභාගි වුණා.
එහිදී "ලංකාවේ විදුලිබල ක්ෂේත්රයට අද විශේෂී දවසක්. අද අපි විදුලිය ගැන ආඩම්බරයෙන් කතා කරනවා. එහෙම කතා කරද්දි ලක්විජය කියන නම පැත්තකින් තියලා කතා කරන්නම බැහැ. ලංකාවට විදුලිබලය අවශ්‍යනම් නොරොච්චෝල බලාගාරය අමතක කරන්නත් බැහැ. ඒ නිසා අපිට තියෙන වගකීම තමයි තිබෙන ගැටළුවලට විසඳුම් සොයමින්, සාමූහිකව සහයෝගයෙන් ආයතනය ඉදිරියට රැගෙන යන එක. ඒක අපට පැවරුණ ජාතික වගකිමක්. එහෙම නැතිව මේ බලාගාරයට ඇඟිල්ල දික්කරනවා නම්, ඒ අය සූදානමින් සිටිය යුතුයි කළුවරේ ඉන්න." යැයි විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රංජිත් සියඹලාපිටිය ප්‍රකාශ කර සිටිනවා.
මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය සියඹලාපිටිය,
"මම අමාත්‍ය ධුරයට එද්දි සමහර වෙලාවට මේක දුවන්න ගල් අඟුරු නැහැ. මාස ගනන් වහලා තියෙනවා. ඒ නිසා මේකෙන් රු.8.00ට නිෂ්පාදනය කරන විදුලි ඒකකයක්, පිටින් රු35.00 කට ගන්න වෙනවා. ඒක විශාල ප්‍රශ්නයක්. නමුත් අද අපි ඒ ප්‍රශ්නෙන් එතෙර වෙලා තිබෙනවා. අද කව්රුත් ගල් අඟුරු නැහැ කියන්නේ නැහැ. ආව නැව් ආයෙ ගියා කියන්නේ නැහැ. දැන් කව්රුත් ඒ ටෙන්ඩරය ගැන අවිශ්වාසයෙන් කතා කරන්නේ නැහැ. ලොකු සටනක් කරලා අපිට පුළුවන් වුණා මේ රටේ තිබෙන ලොකුම මිලදී ගැනීම වන මේ ගල් අගුරු ටෙන්ඩරය ඉතාම විනිවිදභාවයෙන් යුතුව සිදුකරන්න. ගල් අඟුරුත් එනවා. අවම මිලත් තියෙනවා. අද අපි මේ ආරම්භ කරන්නේ කෝටි 75ක වියදමකින් කිලෝමීටර් 1.6 ක් දිග ප්රාකාරයක් සුළං බාධකයක් වශයෙන් මේ බලාගාරයට හදන්නයි. එය වසරක කාලයකින් නිම කර අවසන් කරන්නයි සැලසුම් කරන්නේ. අපි ඉදිරියේදී ගල් අඟුරු ගෙනෙද්දිත් නියමිත ප්‍රමිතියෙන් යුුතු ඒවාම ගේන්න සැලසුම් කරනවා. ඒ වගේම දහනයෙන් පසුව එන අළු සඳහාත් තරඟකාරීව නිෂ්පාදකයන්ට ලබාදෙනවා. මේ ආකාරයෙන් සැලසුම් කිරීම තුළින් ලක්විජය බලාගාරයෙන් ඇතිවෙතැයි පවසන ගැටළු අවම කරගන්න හැකි වේවි. මේ හැමදේකටම වඩා වැදගත් වන්නේ ගැටළුව පිළිබඳව අවබෝධයෙන් යුතුව සාකච්ඡා කිරීම" යැයි පැවසුවා.