Thursday, January 9, 2025

General line - 0115112241

අමුතු කොල්ලයක් - කොල්ලයට ආ අයෙකුත් පොලිසියට පැමිණිල්ල දාන්න ඇවිත්




මැණික් ගලක් මිළදී ගැනීමට පැමිණි මුස්ලිම් ජාතිකයින් තිදෙනෙකුට පහර දී ඔවුන් සතුව තිබූ රුපියල් 1,72,000 ක මුදල් කොල්ලකා පලා යාමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශණ කටයුතු ආරම්භ කර ඇති බව මාදම්පේ පොලීසිය පවසනවා. පසුගිය 21 වැනිදා රත්‍රියේ මාදම්පේ පොලිස් වසමේ පුලියන්කාර ප්‍රදේශයේදී මෙම සිද්ධිය සිදුවී ඇත.

සිද්ධියට මුහුණ දී ඇත්තේ මිරිගම පදිංචි යූසුප් කාසිම් මොහොමඩ් නිශාම් නම්වූ ව්‍යාපාරිකයෙකු ඇතුළු තිදෙනෙකි. බිංගිරිය පොලිස් වසමේ තල්ගහපිටි යේ නිවසක මැණික් ගලක් අලවි කිරීමට ඇති බවට වූ තොරතුරකු මීරිගම පදිංචි  මොවුනට ලැබී ඇත.ඒ අනුව ඔවුන් එම මැණික් ගල මිළදී ගැනීම සදහා මෝටර් රථයකින් මාදම්පේ පොලිස් වසමේ පුලියන්කාරට පැමිණ ඇත.

ඔවුන් පැමිණ සුළු වේලාවකින් වෑන් රථයකින්ද තවත් පිරිසක් පැමිණ ඇත. එම පිරිස අතර මෙම ගණුදෙණුවේ අතරමැදියා ලෙස කටයුතු කරන අයද සිට තිබෙනවා. පසුව වෑන් රථයෙන් පැමිණි අතර මැදියා සහ මුස්ලිම් ජාතික ව්යා පාරිකයින් තිදෙනා තල්ගහපිටියේ නිවසට මැණික් ගල මිළදී ගැනීම සදහා ඔවුන් පැමිණි කාර් රථයෙන් පිටත්ව ගොස් ඇත. පසුව පැමිණි වෑන් රථය සහ එහි සිටි සෙසු පිරිස එම ස්ථානයේම රැදී සිට ඇත. මැණික් ගල මිළදී ගැනීමට ගිය පිරිස නැවත වෑන් රථය තිබූ ස්ථානයට පැමිණි අවස්ථාවේදී එහි සිටි පිරිස මෝටර් රථයෙන් පැමිණි ව්‍යාපාරිකයින්ට පහර දී ඔවුන්ට අත් මාංචු දමා ඇත.

පසුව වෑන් රථයේ පැමිණි පිරිස එම ව්‍යාපාරිකයින් සතුව තිබූ රුපියල් 1,72,000 ක මුදලක් කොල්ලකා ඔවුන්වද රැගෙන මැණික් ගල තිබෙන බව කියන නිවසට ගොස් ඇත. නැවතත් ආපසු පැමිණ ඇති ඔවුන් මාදම්පේ - ගල්මුරුව දී මුස්ලිම් ජාතිකයින් තිදෙනාව මුදා හැර පලා ගොස් තිබෙනවා. වෑන් රථයේ සිටි පිරිස අතර පොලිස් පරීක්ෂකවරයෙකුට සමාන නිල ඇදුම් ඇද සිටි අයෙකු සිටි බවත්,ඔවුන් අත පිස්තෝල වැනි ගිනි අවි තිබූ බවද සිද්ධියට මුහුණ දුන් පිරිස පොලීසිය හමුවේ පවසා ඇත.

සිද්ධියට මුහුණ දුන් අය 22 වැනිදා මාදම්පේ පොලීසියට පැමිණ පැමිණිල්ලක් සිදු කර ඇත. ඔවුන් අතර මෙම ගණු දෙණුවේ අතර මැදියා ලෙස කටයුතු කළ අයද වනවා. ඔහුද පහර දීමට පැමිණි පුද්ගලයින් ගමන් කළ වෑන් රථයේ පැමිණි අයෙකි. එම අතර මැදියාව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.