ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබා ගැනීමට අදහස් නොකරන බව ඉකුත්දා ආණ්ඩුවෙන් ඉවත් වූ 16 දෙනාගේ කණ්ඩායම පවසනවා.
එහි සාමාජිකයෙකු වන හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පැවසුවේ මේ වනවිට ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන පාර්ලිමේන්තුවේ වෙනත් කිසිඳු මන්ත්‍රීවරයෙකු ද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගෙන නොමැති බවයි.
පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු පාර්ලිමේන්තුවේ නියෝජනයක් නොමැති පක්ෂයක සාමාජිකත්වය ලබා ගතහොත් අනවශ්‍ය නීතිමය ප්‍රශ්න ඇති විය හැකි බවද ඔහු පැවසුවා.
මේ අතර අමාත්‍ය දුමින්ද දිසානායක ඊයේ (25) කියා සිටියේ ආණ්ඩුවෙන් ඉවත් වූ 16යේ කණ්ඩායම ඒකාබද්ධ විපක්ෂය වෙතින් පවා ප්‍රතික්ෂේප වෙමින් සිටින බවයි.
අමාත්‍ය දුමින්ද දිසානායකගේ මෙම ප්‍රකාශය සම්බන්ධයෙන් ද නෙත් නිවුස් 16දෙනාගේ කණ්ඩායමෙන් විමසීමක් කළා. ඊට පිළිතුරු දෙමින් හිටපු අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා පැවසුවේ ලබන සතියේ පැවැත්වෙන ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමට තමන්ට ද ආරාධනා කරනු ඇති බවයි. ඒ අනුව 16දෙනාගේ කණ්ඩායම ඊට සහභාගී වන බවද ඔහු පැවසුවා.
16 දෙනාගේ කණ්ඩායම අද දිනයේ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ ද හමුවී සාකච්ඡා කරන බවයි මෙහිදී වැඩිදුරටත් ප්‍රකාශ කෙරුණේ.