පාසල් නිල ඇඳුමකින් සැරසි සිටි පාසල් දැරියකගේ මළ සිරුරක් යාපනය සුළිපුරම් ප්‍රදේශයේ ළිඳක තිබි ඊයේ (25) සවස සොයාගත් බව යාපනය වඩ්ඩුකෝඩ්ඩෙයි පොලිසිය පවසනවා.
පොලිසිය පැවසූවේ දැරිය ඊයේ (25) පාසල් ගොස් නැවත නිවස වෙත නොපැමිණ ඇති අතර, දැරිය නිවසට නොපැමිණිම සම්බන්ධයෙන් සොයා බැලීමේදී දැරියගේ මළ සිරුර නිවස ආසන්නයේ ළිඳක තිබි සොයාගෙන ඇති බවයි.
යාපනය, සුළිපුරම් ප්‍රදේශයේ පදිංචි ශිවනේශ්වරන් රෙජීනා නමැති දැරියකගේ මළ සිරුරක් එලෙස සොයාගත් බවද පොලිසිය සදහන් කළා. මෙම දැරිය කාට්ටුපුලම් රජයේ දෙමළ මිශ්‍ර පාසලේ පළමු ශ්‍රේණියේ අධ්‍යාපනය ලබමින් සිට තිබෙනවා.
සිරුර ඊයේ (25) සවස ළිදෙන් ගොඩගෙන යාපනය රෝහල වෙත ඇතුළත් කොට ඇති අතර, සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ අද (26) යාපනය රෝහල් මෘත ශරීරාගාරයේදි පැවැත්වීමට නියමිතයි.
දැරියගේ මරණය ළිඳට වැටී සිදුවූවක්ද, නැතහොත් වෙනත් හේතුවක්ද යන්න සම්බන්ධයෙන් සොයා වඩ්ඩුකොඩ්ඩෙයි පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනවා.