Friday, January 10, 2025

General line - 0115112241

අධිවේගී මාර්ගයට වාහන ඇතුළු කිරීමේ සීමාවන් දැඩිව ක්‍රියාත්මක කෙරේ - රථවාහන පොලිසියෙන් දැනුම් දීමක්

චම්ලි ඒකනායක




අධිවේගී මාර්ගයක ධාවනය කිරීමට නුසුදුසු තත්ත්වයේ වාහන අධිවේගී මාර්ගයන්ට ඇතුළු කිරීමට ඉඩ නොදීමට පවතින නීතිය තදින් ක්‍රියාත්මක කිරීමට පොලිසිය පියවර ගෙන තිබෙනවා.

අධිවේගී මාර්ගයට ඇතුළු කරනා වාහනවල තිරිංග සහ සුක්කානම් පද්ධතිය හොඳ තත්වයේ පැවතීම, සංඥා සහ ලාම්පු හොඳින් ක්‍රියාත්මක වීම, ආසන පටි, පැති කණ්නාඩි නියමිත ආකාරයට තිබීම, වේග මීටරය ඇතුළු වාහනයේ සියලුම මීටර් හොඳින් ක්‍රියාත්මක වීම සහ හොඳ තත්වයේ ටයර් හා ටයර්වල වායු පීඩනය නියමාකාරයෙන් තිබිය යුතු වනවා. 

රථ වාහන හා මාර්ග ආරක්ෂාව පිළිබඳ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ පැවසුවේ අධිවේගී මාර්ගයේ සිදුවන අනතුරු අවම කර ගැනීම සඳහා මෙම පියවර ගන්නා බවයි. පසුගිය 20 වැනිදා අළුයම දක්ෂිණ අධීවේගී මාර්ගයේ කුරුඳුගහැතැක්ම ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් දෙදෙනකු මිය ගියා. ඒ මෙරට සංචාරය සඳහා පැමිණි කාන්තාවක් හා කුඩා දරුවෙකි. 

මෙම අනතුර සිදුවූයේ මරණයට පත් දෙදෙනා ඇතුළු පවුලේ කිහිප දෙනෙකු ගමන්ගත් වෑන් රථය, ටයරයක හුළං යෑම හේතුවෙන් අනාරක්ෂිතව මාර්ගයේ නවතා ටයරය මාරු කරමින් තිබූ කන්ටේනර් ප්‍රවාහන ලොරි රථයක ගැටීමෙනි.

අදාල ලොරි රථයේ ටයර් අධිවේගී මාර්ගයට ඇතුළත් කරන වාහනයක තිබියයුතු නියමිත තත්ත්වයට වඩා බොහෝ සෙයින් ගෙවී තිබූ බවයි පොලිස් අධිකාරි ඉන්දික හපුගොඩ පැවසුවේ. එවැනි වාහන හිමිකරුවන් සම්බන්ධයෙන්ද නීතිය ක්‍රියාත්මක කරන බවයි ඔහු වැඩිදුරටත් අවධාරණය කළේ. 

අධිවේගී මාර්ගයේ ගමන් ගන්නා වාහනයක කිසියම් දෝෂයක් ඇතිවුවහොත් ඒ සම්බන්ධයෙන් 1969 හදිසි අංශය දැනුවත්කළ යුතු වනවා. එසේ නොකොට වාහනයේ ගමන්න ගන්නා අය විසින් වාහනය යථාතත්ත්වයට ගැනීමට උත්සාහ කිරීම වරදක් වනවා.

අධිවේගී මාර්ගයන්ට ඇතුළු වීමට පෙර දැනුවත් වියයුතු කරුණු සියල්ල මෙතනින් බලන්න