Saturday, May 4, 2024

General line - 0115112241

වැලිකඩින් රැඳවියන් 121 මාරු කෙරේ - තවත් 400ක් රැගෙන යාමට සූදානම්

රාහුල් සමන්ත හෙට්ටිආරච්චි




අඟුනුකොලපැලැස්සේ ඉදිකර තිබෙන නව බන්ධනාගාරය වෙත පසුගිය දින කිහිපය තුළ කාන්තා රැඳවියන් 121 දෙනෙකු රැගෙන විත් තිබෙනවා.

වැලිකඩ බන්ධනාගාරයේ දඬුවම් නියම වී සිටි කාන්තා රැඳවියන් 121 දෙනෙකු මෙලෙස රැගෙන විත් ඇති බවයි වාර්තා වෙන්නේ.

එමෙන්ම ඉදිරි දින කිහිපය තුළදී වැලිකඩ බන්ධාගාරයේ සිටින තවත් රැඳවියන් 400ක් පමණ අඟුනුකොලපැලැස්ස බන්ධනාගාරය වෙත රැගෙන ඒමට සැලසුම් සකස් කර තිබෙන බවද බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු කියා සිටි බවයි අප වාර්තාකරු පෙන්වා දෙන්නේ.

මේ වන විට අඟුනුකොලපැලැස්ස බන්ධනාගාරය තුල රැඳවියන් 700 ක් පමණ සිටින අතර රැඳවියන් 1500 ක් පමණ එහි රැඳවිය හැකියි.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ අඟුනුකොළපැලැස්සේ ඉදි කෙරුණු  නව බන්ධනාගාරය 2017 ඔක්තෝම්බර් 16 වැනිදා විවෘත කෙරුණා.

රුපියල් මිලියන 4996ක් වියදම් කර ඉදිකර තිබෙන අඟුනුකොළපැලැස්සේ මෙම බන්ධනාගාර සංකීර්ණය අන්තර්ජාතික ප්‍රමිතින්ට අනුව සිරකරුවන්ට සැපයිය යුතු සියලු පහසුකම්වලින් සමන්විත එකක් වනවා.

අක්කර 65ක් පුරා විහිදී තිබෙන බන්ධනාගාර සංකීර්ණය තුළ බන්ධනාගාර රෝහලක්, වෘත්තීය පුහුණු මධ්‍යස්ථානයක් මෙන්ම කර්මාන්ත අංශයක්ද ස්ථාපිතව තිබෙනවා. තවද අවන්හලක්, භෝජනාගාරයක්, අමුත්තන්ගේ කාමර හා දේශන ශාලා පහසුකම්ද මෙහි පවතිනවා.